කොන්සල් කාර්යාලය වසා දමන්න – ඇමෙරිකාවෙන් රුසියාවට නියෝගයක්

රුසියාවේ “අනවශ්‍ය” ක්‍රියාදාමයන් හේතුවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි රුසියාවේ කොන්සල් කාර්යාලය සහ එයට අයත් අනෙක් කාර්යාල වසා දමන මෙන් නියෝග කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ඒ අනුව සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි රුසියාවේ කොන්සල් කාර්යාලය සහ නිව්යෝක් හා වොෂින්ටන් නුවර පිහිටි එයට අයත් කාර්යාල ලබන සෙනසුරාදා (සැප්තැම්බර් 02) වන විට වසා දැමිය යුතුය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම නිවේදනය කළේ රුසියාවේ සිටින ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිස අඩු කරන මෙන් රුසියාව පසුගිය මාසයේ ඇමෙරිකාවට කළ නියෝගයට ප්‍රතිචාර වශයෙනි.

රුසියාව පසුගිය මාසයේ එම නියෝගය කිරීමට ප්‍රථම රුසියාව ක්‍රිමියාව ඈඳාගැනීමට සහ ඇමෙරිකානු ජනපතිවරණයට බලපෑම් කිරීමේ චෝදනා මත රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් 35 දෙනෙකු පිටුවහල් කරන මෙන් ඇමෙරිකාව නියෝග කළේය.

එක්සත් ජනපදය තුළ පිහිටි රුසියානු කාර්යාල දෙකක් වසා දමන මෙන් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කරන මෙන් පසුගිය දෙසැම්බර් මාසයේ නියෝග කරනු ලැබුවේ ජනාධිපති බරක් ඔබාමා විසිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් නව පදවියේ වැඩ භාරගැනීමට නියමිතව තිබුණ ඒ අවස්ථාවේ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් ජනාධිපති ඔබාමාගේ පියවරට ප්‍රතිචාරය පළ නොකළ නමුත්, ඇමෙරිකානු සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් 755 දෙනෙකු රටින් පිටවිය යුතු බව පසුගිය ජුලි 31 වෙනි දින ඔහු නියෝග කළේය.

ඒ අනුව ඔවුන්ට රුසියාවෙන් පිටවයාම පිණිස ලබා දී තිබෙන අවසාන දිනය සිකුරාදා (සැප්තැම්බර් 01) ය.

රුසියානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි වොෂින්ටන්, සැන් ෆ්‍රැන්සිස්කෝ, නිව්යෝක්, සියැට්ල් සහ හ්යූස්ටන් නගරවල රුසියානු රාජ්‍යතාන්ත්‍රික කාර්යාල පහක් පිහිටා තිබේ.

“ද්විපාර්ශ්වික සම්බන්ධතාවන්හි උණුසුම උත්සන්නවීම පිළිබඳව කණගාටු වන,” බව ඇමෙරිකාවේ අලුත්ම පියවර පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් රුසියාවේ විදේශ අමාත්‍ය සෙර්ගේයි ලව්රෝෆ් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *