ගමනක අවසානය ? – ධම්ම දිසානායක

hqdefaultධම්ම දිසානායක – දිගු කලක් තිස්සේ පැවති බටහිර බලපෑම්වලට ,යටත් විජිතවාදයට සහ ඒවාට හූමිටි තැබූ එජාපයට එරෙහිවත් බටහිර යටත්විජිත පාලනය විසින් විනාශ කොට,අසරණ කොට සහ අවතක්සේරු කොට අගුපිලට වීසිකොට තිබූ ස්වදේශික උරුමයන් වූ ආගමික, සංස්කෘතික, සමාජීය සහ සම්ප්‍රධායික පැවතුම් සහ වටිනාකම්වලට පක්ෂවත් ඒවා ට පුනර්ජීවනය ලබාදී පෝෂණය කොට රැක ගැනීමේ අරමුණු සහිතවත් රොද බැඳුනු මහා ජනකායකගේ දේශපාලන ප්‍රකාශනය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්නාමය සහ අන්තර්ගතය අතර මහා පිපුරුම මේ වන විට කවර බලවේගයකටවත් කවර ක්‍රමවෙදයක් මගින් වත් පෑස්සිය නොහැකි තරමට පළල් වී සහ ගැඹුරු වී ඇත. නිලධාරීන් අයිතිකරගෙන සිටින ශ්‍රීලනිප සන්නාමය සහ පක්ෂයේ පෝෂක ජනබලවේගය අතර දිනෙන් දින පළල් සහ ගැඹුරුවන මේ මහා පිපුරුම අර මහා පෝෂක ජනබලවේගයේ පදනම මත බිහිවෙන ස්වදෙශිකවාදී දේශපාලන ව්‍යාපාරයකට මග පෙන්වන නව දේශපාලන සංවිධානයක හෝ පක්ෂයක ඇරඹුමද?එසේ වුවහොත් එය ශ්‍රීලනිපයේ ගමනක අවසානයද?

1970 පිහිටවූ සමගි පෙරමුණු ආණ්ඩුවෙන් වාමාංශික දේශපාලන පක්ෂ එලවා දැමූ 1975 වසර ශ්‍රීලනිප යේ ගමනක අවසානයේ පටන් ගැන්ම ය.පිපුරුමේ පටන්ගැන්මය. ඊට එහා ගිය ඉතිහාසයක් ඊට ඇතත් ප්‍රචාරාත්මක නැතහොත් දෘශ්‍යමානිත ප්‍රසිද්ධ මොහොත එයය.ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිමය පදනම් වූ සමාජවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ට ගුණාත්මක වටිනාකමක් සහ අර්ථයක් ලැබුනේ මෙරට වාමාංශික පක්ෂ දක්ෂිනාංශික වමක්වූ ශ්‍රීලනිපය සමඟ සම්බන්ධ වී වැඩපිළිවෙලවල් සැකසු සභාග ආණ්ඩු නිසාය.1964 ඇරඹුණු මේ වාම සහ දකුණට බර වාම සභාග දේශපාලනය නිසා මෙරට මතු කී ජන බලවේගයේ අභිලාශ රැකීම සහ වර්ධනය වීම සැලකිය යුතු මට්ටමකින් සිදුවූ බව ට සාක්ෂි එමට ය.

එසේම මේ සභාග ආණ්ඩු දේශපාලනය නිසා වමට වූ හානියද සුළුපටු නැත. වමට එරෙහිව අන්ත දක්ෂිනාංශික ගමනකට මුල පිරීම නිසා ශ්‍රීලනිපයට වූ හානියද සුළුපටු නැත. නායකයින්ට හිතෙන හිතෙන විදියට ස්වකීය අණින් පක්ෂයේ ඉහල නිලධාරීන් , මධ්‍යමකාරක සභා සාමාජිකයින්, මැති ඇමතීන් සහ සහ සංවිධායකයින් පත් කිරීමට හැකිවන උග්‍ර නායක-නිලධාරිවාදයකට ශ්‍රීලනිපයඋග්‍ර ලෙස යටත් වන්නේ 1975 ක්‍රියාවලිය මැදි කරගෙනය. නායක-නිලධාරිවාදයකට පක්‍ෂය නතුවීමේ විපාක වුයේ ජනතාවාදී බව පියවරින් පියවර අඩුවීමය. ජනමතයට ගරු කිරීම සහ ජන නියෝජනය යන මුලධර්ම පක්ෂ යෙන් ඈත්වීම එසේම පක්ෂයේ ප්‍රතිපත්තිමය විනය නොව නායක-නිලධාරිවාදී අණ සහ විධාන බලවත් වීමය.එවැනි තත්ත්වයක තාර්කික ප්‍රතිපලය වුයේ ශ්‍රීලනිපය ස්වදේශිකවාදී ජන බලවේගයේ පක්ෂයක් නොවී නායක-නිලධාරීන්ගේ නැතහොත් කතිපයාධිපති කල්ලියකගේ තිත්පොලක් බවට පත් වීමය.ඒ නිසා කලක් විශ්වාසය තබා සිටි නායක-නිලධාරීන් ගැන පළමුව බියත් දෙවනුව සැක සංකා සහිතවත් සිටි පක්ෂයේ පෝෂක ජනබලවේගය මුලදී ඉන් ඉවත් නොවුයේ අඩුම තරමින් ශ්‍රීලනිප මතවාදය වෙනුවෙන්වත් මේ නායක-නිලධාරීන් කටයුතු කරනු ඇත සහ එජාපය විසින් රටට එරෙහිව කරනු ඇතැයි සිතන විනාශයට එරෙහි වනු ඇත යනුවෙන් වූ අවම විශ්වාසයය නිසාය. 1994 සිට පැවති මැතිවරණ වලදීත් පසුගිය ජනවාරි සහ අගෝස්තු මැතිවරණ වලදීත් දසලක්ෂ ගණනින් වූ ශ්‍රීලනිප ඡන්ද පදනමින් ප්‍රදර්ශනය වුයේ ඒ අවම විශ්වාසයයි.

පොදු අපේක්ෂකයාට පක්ෂ ගෝලීය සහ දේශීය ප්‍රචාරක සහ සංවිධානමය ව්‍යාපාරයක් සහිත ජනවාරි මැතිවරණයේදී ත් ලක්ෂ 58 ක අති විශාල ඡන්ද ප්‍රමාණයක් ශ්‍රීලනිප අපේක්ෂකයාට ලබාදුන් ස්වදෙශිකවාදී ජනතාව කියා සිටියේ කවර ගැටළු තිබුනද ශ්‍රීලනිප භූමිකාව තව දුරටත් මේ රටට අවශ්‍ය බවය. එහෙත් ජනවාරි නවවෙනිදා අති සුළුතර එජාප ආණ්ඩුවක් පිහිටවූ ජනාධිපතිවරයාට ශ්‍රීලනිපයේ නායකත්වය ලබාදීමත් සමඟ ම දැන් ඉතින් අපට කාගේ හව්හරනක්දැයි සිතා අසරණ වූ ජනයාට ඊ ළඟ දැවැන්ත මුෂ්ටි ප්‍රහාරය එල්ල වුයේ අගෝස්තු මැතිවරණයේදීය.දින සියයේ ලිබරල්- ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ එජාපයට ආවතේවකම් කළ තිදෙනෙකු හැර අන් සියල්ල පරාජය කල ජනයාගේ ජාතික ලැයිස්තුවෙන් අර පරාජිතයින් පාර්ලිමේන්තුවට යන හැටි ඔවුන් බලා සිටියේය. පක්ෂයේ නිල නායකත්වයේ සහ නිලධාරීන්ගේ බාධා කිරීම් මිස කිසිදු සහයක් නැතිව පාර්ලිමේන්තුවේ විපක්ෂ බහුතරය වූ නොනිළ එහෙත් සැබෑ ශ්‍රීලනිපයට විපක්ෂ නායකකම තබා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කමවත් නොලැබෙන අයුරුත් බලා සිටි ශ්‍රීලනිප පෝෂක ජන බලවේගය වැටුනේ කබලෙන් ලිපට නොව රත්වූ ලෝහ ද්‍රව වී තිබෙන කෝවකට ය. ඒ නිසාම ඔවුන් දැන් වනවිට හොඳට පදම් වී ඇත.එවැනි පිරිසක් මඳ පවනේ තැම්බිය හැකිද?

පාද යාත්‍රාව ඇරඹෙන්නේ එවැනි පසුබිමකය.එය බැලීමට සහ එයට සහභාගිවීමට මහා ජනකායක් පැමිනෙන්නේත් එවැනි පසුබිමකය.පද යාත්‍රාවට එරෙහිව එජාපය-සන්නාම ශ්‍රීලනිපය-ජවිපෙ-ඊනියා සිවිල් සමාජය එක පෙලටහිටගන්නේත් එක හඬට මොර දෙන්නේත් එවැනි පසුබිමකය.බණ්ඩාරනායක සමාධියට හිස නමන්නේත් ශ්‍රීලනිප සන්නාමකාර්යාල ගොඩනැගිල්ලට හූ කියන්නෙත් ඒ හූව ගැන ඌව ට ආ හරීන් සහ මා මිත්‍ර ඩිලාන් එක පෙලට සිටගෙන හඬා වැටෙන්නෙත් එවැනි පසුබිමකය.එජාපය සමඟ තම දීගය සැලසුම් සහගත දීර්ඝ එකක් බවත් අවුරුදු පහකටම එය නොකැඩෙන සහවාසයක් වනබවත් ඇමති දුමින්ද දිසානායක තිර අදිටනින් යුතුව කරන ප්‍රකාශය ජනාධිපතිවරයා තවතවත් තහවුරු කරන්නේත් එවන් පසුබිමකය.පසුගිය අගෝස්තුවේදී මහ දවල් තමන්ලාගේ ලේකම් ධූර මංකොල්ල කා නිල පක්ෂයේ අගුපිලට වීසි කළ අපගේ මිතුරන් වන සුසිල් ප්‍රේම් ජයන්තට සහ අනුර ප්‍රියදර්ශන යාපාට මේ ගැන කීමට යමක් තිබේද?

සමාධිය ඉදිරිපිට දී හිස නමා ගරු කිරීමත් ඩාර්ලි පාරේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිරිපිටදී හූ කියා නිගරු කිරීමත් හරහා ප්‍රකාශවන්නේ ශ්‍රීලනිප සමාරම්භක ප්‍රතිපත්ති මුලධර්ම වලට ගරු කරන පෝෂක ජනබලවේගය වර්තමාන සන්නාම ශ්‍රීලනිප නිලධාරිවාදයට දැඩි ලෙස විරුද්ධ බව නොවේද? අගෝස්තු මැතිවරණයේදී ඡන්දය මගින් දුන් පණිවිඩය නෑසුණු වුන් සේ, නොතේරුනවුන් සේ කටයුතු කල පක්ෂයේ නායක-නිලධාරීන්ට නැතහොත් ආඥා දායකයින්ට නැවත ඒ පණිවිඩය වීදියට බැස මොරගා කීම නොවේද?ඊනියා ජාතික ආණ්ඩුවක් නිසා රටේ ඇතිවී තිබෙන දේශපාලන-ආර්ථික-සමාජ අවුල, අසමගිය සහ විනාශය ට මේ පෝෂක ජන බලවේගය මුළුමනින්ම විරුද්ධ බව නොවේද?මේ වනවිට එජාප සාලයේ කනප්පුවක් බවට පත්වී ඇති ශ්‍රීලනිප සන්නාමය ට අපහාස කිරීමක් නොවේද?

ඒ සියල්ලමත් සමගින් මතුවන වඩාත් වැදගත් සහ තීරණාත්මක කාරණය වන්නේ 1975 සිට ක්‍රමානුකුලව වර්ධනයවූ සහ මේ වනවිට ප්‍රබල වී ඇති ශ්‍රීලනිපයේ නායක-නිලධාරිවාදය, පක්‍ෂය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ අමාරුවෙන් ඉවසා දරාගෙන සිටි පක්ෂයේ පෝෂක ජන බලවේගය, පක්‍ෂ නාමය, පක්ෂ ලකුණ,පක්ෂ වර්ණය,පක්ෂයේ මැතිවරණ ලකුණ ,පක්ෂයේ ගීතය සහ කාර්යාල ගොඩනැගිල්ල යනාදිය පිළිබඳව වූ සියලු අතීතකාමයන්ගෙන් කායිකව මෙන්ම මානසිකව ද වියෝවී සහ මිදී ඇති බවය.එය සමාන වන්නේ බණ්ඩාරනායක 1951 දී එජාපයෙන් ගැලවීම, සෝමවංස අමරසිංහ ජවිපෙන් ඉවත්වීම ,මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් යෑම සහ වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ ෂේන් කණ්ඩායමෙන් ඉවත්ව යෑම වැනි බරපතල ගණයේ මානසික ව්‍යායාමයන්ටය. ඒ එකක්වත් ලෙහෙසි පහසු වැඩ නොවේය.හැබැයි අමාරුවෙන් හරි කඩ ඉම පැන්නොත් නැවත හැරී බලන්නේවත් නැත.හරියටම නම් අතීතකාමයෙන් ගැලවී පරිපුර්ණ ලෙස ප්‍රේම සම්බන්දතාවකින් ගැලවෙන්නා සේය.

මේ වනවිට ශ්‍රීලනිප පෝෂක ජනබලවේගය තීරනාත්මකවම නිල නායක-නිලධාරිවාදී සන්නාම ශ්‍රීලනිපයෙන් මිදී ගැලවී හමාරය.දැන් ඔවුනට පක්ෂයක්, ලකුණක්, පාටක්, ගීතයක් සහ කාර්යාලයක් නැත.උපමා රූපිකව කියන්නේ නම් ලක්ෂ හතලිහකට වඩා වැඩි ඔවුන් දැන් සිටින්නේ මහ පාරේය.ඒ පාරේ යන ඔවුන් හා එකඟවී එකතුවිය හැකි පිරිසත් සමඟ ගණන් ගත්තොත් ලක්ෂ පනහකට වැඩිය.පාරේ සිටියද එක එකාට කූට උපක්‍රමවලින් දිනා ගැනීමට බැරි ය. මන්ද ඔවුන් දැන් හොඳ පමණට තැම්බී තෙම්පරාදු වී ඇති නිසාය.මේ පෝෂක ජනබලවේගයට දැන් අවශ්‍ය විධිමත් වාම සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙලකි.ඒ වැඩ පිළිවෙළ අවංකව ඉදිරියට ගෙනයාහැකි සංවිධාන ව්‍යුහයකි.ඒ ව්‍යුහය නායක-නිලධාරිවාදී ආඥාදායකත්වයෙන් මිදුණ ප්‍රජාතන්ත්‍රවාදී ඝන තන්ත්‍රයක් විය යුතුමය. මෙරට මේ මොහොතේ ඊනියා ජාතික ආණ්ඩුව යනු පාලක සභාගයක් මිස පොදුජන සභාගයක් නොවේ.එනම් පාලකයින් කීප දෙනෙකුගේ කතිපයාධිපති බල හවුලක් මිස අඩුම තරමින් ප්‍රතිගාමී පක්ෂ කීපයක්වත් සැබෑ ලෙස නියෝජනයවන සභාගයක් නොවේ.නැවත මේ රටේ ඇතිකර නොගත යුත්තේ එවැන්නකි. ඇතිකරගත් යුත්තේ සැබෑ පොදු ජන නියෝජනය සහිත පොදු ජන තන්ත්‍රයකි. මන්ද වහලුන් සේ දුක් වින්දා හොඳටම ඇතිය.ඒ ගැන සිතීමට මහ පාර හොඳම තැනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *