ඡන්ද කල් දාන්නේ ඇයි කියලා ඔබතුමා දන්නවානේ ඉතින්

අර්ජුන – දයාසිරි ක්‍රිකට් ගැටුම කැබිනට්ටුව දක්වා ගොස් ඇති අතර, මෙවර කැබිනට්ටුව උණුසුම් වූයේ කැබිනට්ටුව තුළදීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවත් සමගය.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකුද වන අර්ජුන රණතුංග ක්‍රිකට් සහ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ මෙතෙක් කැබිනෙට්ටුවෙන් පිටත දිගින් දිගටම ප්‍රසිද්ධියේ කතා කරන්නට විය.

මාරු කරගන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන අමාත්‍යාංශයත් එක්ක ක්‍රීඩා අමාත්‍යාංශය දුන්නොත් මම කරනවා

මෙවර කැබිනට් මණ්ඩලයට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එළීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කැබිනට් පත්‍රික‍ාවට අර්ජුන රණතුංගගේ නිරීක්ෂණ සාකච්ඡාවට ගත් අවස්ථාවේදී මෙම ගැටුම උච්ච ස්ථානයට පැමිණියේය. සුගතදාස ක්‍රීඩාංගණය මෙන්ම ක්‍රිකට් සම්බන්ධයෙන්ද කරුණු එකිනෙක ගෙනහැර දක්වමින් අර්ජුන කරුණු කියන්නට වූ අතර, දයාසිරිද ප්‍රතිඋත්තර දෙන්නට විය.

දිගින් දිගටම අර්ජුන පිළිතුරු දෙනවිට දයාසිරිද දැඩිව පිළිතුරු දෙන්නට විය.

‘අර්ජුන ඇමතිතුමා හැමදේකටම අත ගහන්න එනවා.’

‘එහෙම කියන්න එපා. සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයට කෘත්‍රිම ධාවන පථයක් අවශ්‍යයි. නමුත් මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලු තැන් තියෙනවා. මම ඒවා පෙන්වා දෙන්නේ යුතුකමක් විදියට. තීරණ ගැනීම ඔබතුමාලට බාරයි. වැරදි විදිහට දෙයක් වෙනවා නම් ඒවා පෙන්වා දීමේ වගකීම මට තියෙනවා’.

‘මෙතුමා හැම වෙලාවෙම බුකීකාරයෝ කිය කියා බණිනවා. එකට ඉන්න කොට හොඳයි. දැන් හොඳ නෑ’.

‘ජනාධිපතිතුමනි, ක්‍රීඩා ඇමතිතුමාගේ කතාවෙන්ම පේනවා බුකීකාරයෝ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නවා කියලා. එතුමාම බුකීකාරයෝ ඉන්නවා කියලා පිළිගන්නවා’.

‘මෙතුමා වරායෙත් ක්‍රිකට් ගැහුවා. පෙට්ට්‍රෝලියම් එකේත් ක්‍රිකට් ගහනවා’.

‘මම හැමදාම ක්‍රිකට් ගහනවා. කොහේ ගියත් ක්‍රිකට් ගහනවා. මගේ ඇඟේ ක්‍රිකට් තියෙනවා. ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතේ වගේ. ක්‍රිකට්වලට හානියක් වෙනවා නම් මම කතා කරනවා’.

‘එහෙමනම් ඔබතුමා අමාත්‍යාංශය මාරු කරගන්න’.

‘මම මට ලබා දුන්න අමාත්‍යාංශයේ වැඩ කටයුතු හොඳට කරගෙන යනවා. ඔබතුමා තමයි තමන්ගේ අමාත්‍යාංශයේ වැඩ නොකර අනුන්ගේ අමාත්‍යාංශ ගැන හොයන්නේ. මෙච්චර කල් මම කට පියාගෙන හිටියා. මාරු කරගන්න ඕනේ නැහැ. මට අමාත්‍යාංශ දෙකම කරන්න පුළුවන්’.

‘එහෙනම් මේ අමාත්‍යාංශය ඔබතුමාම ගන්න’.

‘නෑ, එහෙම අමාත්‍යාංශ මාරු කරගන්න අවශ්‍යතාවක් නැහැ. දැන් තියෙන අමාත්‍යාංශයත් එක්ක ක්‍රීඩා අමාත්‍යාංශය දුන්නොත් මම ගන්නවා. මම මේ කතා කරන්නේ ක්‍රීඩාව ගැන හිතලා. එහෙම කතා කරන්න මට අයිතියක් තියෙනවා’.

මෙම වාග් සංග්‍රාමය මෙසේ සිදුවද්දී ජනාධිපති මෛත්‍රී ඊට මැදිහත් විය. දෙදෙනාටම නිශ්ශබ්ද වන ලෙස පැවසූ ජනාධිපති මෛත්‍රී පසුව මේ පිළිබඳව සාකච්ඡා කරන බවද පැවසීය.

කෙසේ හෝ බදාදා පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපති මෛත්‍රී පැවසූයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇමති අර්ජුන තමාට ලිපියකින් කරුණු දක්වා ඇති අතර, ඒ පිළිබඳ ක්‍රිකට් ආයතනයේ සභාපති සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි. ඒ සඳහා ක්‍රිකට් සභාපත් වරයාගෙන් වේලාවක් ලබා ගත යුතු බවද ජනාධිපති කීවේ සිනහා වෙමිනි.

කැබිනට් මණ්ඩලයට රාජිතගෙන් සෞඛ්‍ය පාඩමක්

ජාන තාක්ෂණය පාසල්වල ඉගැන්වීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මෙවර කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනිණි. එය ඉදිරිපත් කර තිබුණේ සුසිල් ප්‍රේමජයන්ත  විසිනි. ඊට අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත පැවැසුවේ.

මමත්, රාජිත සේනාරත්න ඇමතිතුමාත්  ඇමෙරිකාවට ගොස් මේ පිළිබඳව අධ්‍යයනය කළා.

රාජිත සේනාරත්නද එයට එක් වුණි.

”ජාන තාක්ෂණය නූතන වෛද්‍ය විද්‍යාවේ තවත් සංධිස්ථානයක්. අනාගතයේ ජාන තාක්ෂණයෙන් තමයි රෝගවලට ප්‍රතිකාර කරන්නේ එම නිසා ජාන තාක්ෂණය පාසල්වල ඉගැන්වීම හොඳ දෙයක්. මෙහිදී රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝග ජනනය කරන වෛරසයට ප්‍රතිකාර කරනවා. එමගින් රෝගය පැතිරයාම වළක්වා ගන්න පුළුවන්.

පිළිකා රෝගය වළක්වා ගැනීම සඳහා ‘කයිරුඩා’  නමැති ඖෂධය ඇමෙරිකාවේ නිෂ්පාදනය කර තිබෙනවා. හෙට දවසේ වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධ පවා නැති වෙනවා. ජාන තාක්ෂණ වෛද්‍ය ක්‍රමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කිරීමට මම සුදානම් වුණා.

එම වෛද්‍ය ක්‍රමය ඉගෙන ගත් වෛද්‍යවරුන් 11ක් හමු වුණා. ඔවුන්ගෙන් දෙදෙනෙක් විදේශ ගත වෙලා. දෙදෙනෙක් සොයාගැනීමටවත් නැහැ. එම නිසා සෙසු වෛද්‍යවරුන් 07 එකතු කර ගනිමින් වෙනම ඒකකයක් ස්ථාපිත කර ප්‍රතිකාර සිදුකරනවා.

එම නිසා ජාන වෛද්‍ය විද්‍යාව දියුණු කළ යුතුයි” යැයි කියමින් සෞඛ්‍ය අමාත්‍යවරයා  කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය පාඩමක් උගන්වන්නට වුණි.

බිලියන තුනේ හොරකම

ලංකා විදුලිබල මණ්ඩලයට ජෙනරේටර් මිලදී ගැනීම පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉන්පසු සාකච්ඡාවට ගැනිණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවැසුවේ මීට පෙර රුපියල් බිලියන 12ක ජෙනරේටර් ගෙනවිත් ඇති බවයි. ඒ අනුරුද්ධ රත්වත්තේ මහතා අමාත්‍ය ධුරය දරන සමයේ බවද හෙතෙම පැවසීය.

”එම ටෙන්ඩරයෙන් රුපියල් බිලියන 03ක මුදලක් හොරකම් කර තිබෙනවා. දැන් රත්වත්ත මහතාගේ පුතුන් හිටපු ජනාධිපතිවරයා සමග එකතුව විවිධ කතා පවත්වනවා. මේ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

මොකද පොල්ගෙඩ් 06ක් සොරකම් කළ දරුවෙක් රිමාන්ඩ් කළත් බිලියන 03 කොල්ල කෑ අය නිදහසේ ඉන්න රටක් මේ. එම නිසා දඬුවම් ලබාදිය යුතුයි. වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.” පාඨලී ප්‍රකාශ කළේය.

බිත්තර ගැටලුව

බිත්තර නිෂ්පාදනය සහ මිල පිළිබඳ කැබිනට් පත්‍රිකාවක්ද මෙවර කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනිණි. පළමුවැනියට අදහස් දැක්වූ දයාසිරි ජයසේකර පැවසුවේ බිත්තර මිල අඩු වී ඇති බවයි. ”ඇතැම් කුකුළු ව්‍යාපාරිකයන් කුඩා ප්‍රමාණයේ කූඩුවල කුකළු පැටවුන් ඇති කිරීම කෘෘර ක්‍රියාවක්. එය හිංසාවක්. යුරෝපය වැනි රටවල එම තත්ත්වය මතුවූ පසු එවැනි කුඩා ප්‍රමාණයේ කූඩුවල කුකුළු පැටවුන් ඇති කිරීම තහනම් කළා.” මේ පිළිබඳව දුමින්ද දිසානායකද, පී. හැරිසන්ද, පසුව අදහස් දැක්වීය.

”කුකුළු ව්‍යාපාරිකයන් සමග මම මේ පිළිබඳව සාකච්ඡා කළා. මෙහිදී හිංසනයක් සිදුවෙනවා. නමුත් යුරෝපය වැනි රටවල මෙම ක්‍රමය තහනම් කර නැහැ. අවිහිංසාවාදී සංවිධාන විරෝධතා දක්වා තිබෙනවා. ඉන්පසු යුරෝපා රටවල කුකළු කූඩුවල ප්‍රමාණය වැඩි කළා.

එවැනි ක්‍රමවේදයක් අපිත් ආරම්භ කළ යුතුයි. කුකුළු ව්‍යාපාරිකයන් මට විරුද්ධව පඹයන් පවා පිච්චුවා. එම නිසා කුකුළන් ඇති කරන කූඩුවලට ප්‍රමිතියක් සකස් කිරීමට මම තීරණය කර තිබෙනවා.”

මේ පිළිබඳ අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මේ පිළිබඳව සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවයි.

මහජනතාව පීඩාවට පත්කරමින් ඉල්ලීම් ගන්න හදන්න එපා

විවිධ අභියෝග මැද දුම්රිය දෙපාර්තමේන්තුවට මහත් සේවයක් සිදුකළ බී.ඒ.පී ආරියසේන පසුගිය සතියේ සිකුරාදා සිය සේවයෙන් විශ්‍රාම ගිය අතර, නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත්වූයේ ඩබ්ලිව්. අබේවික්‍රමයි.

සිය ධුරයෙන් නික්ම යන අවස්ථාවේදී දුම්රිය සේවකයන්ට ආරියසේන සාමාන්‍යාධිකාරීවරයා ලබාදුන්නේ මෙවැනි උපදෙසකි.

”කළමනාකරණයට පාඩම් උගන්වන්නට ගිහිල්ලා ජනතාව පීඩාවට පත්කරන්න එපා. කිසියම් කෙනෙක් කෙරෙහි තරහක්  ප්‍රශ්නයක් තිබෙනවා නම් එය මහජනතාවගේ කරමතින් යවන්න එපා. වෙනත් උපක්‍රම සියල්ලම පාවිච්චි කරන්න මහජනතාව තලන්නේ නැතිව.

ඒ වගේම  තමයි මේ ඉල්ලීම් ඉල්ලන අයට කියන්න දෙයක් තියෙනවා. ඉල්ලීම් ඉල්ලන අය අතරේ තියෙන ප්‍රශ්න නිසා තමයි සමහර ඉල්ලීම් නොලැබෙන්නේ. හැමෝම එකතුවෙලා එක තීරණයකට එනවා නම් මේ දේවල් එච්චර අමාරු නැහැ.

මම එකදෙයක් මතක් කරන්න අවශ්‍යයි. ලෝකෙ තිබෙන ධර්මතාවයක් තමයි අපිට සියලු දේවල් ලැබෙන්නෙත් නැහැ, මොකක්වත්ම නොලැබ යන්නෙත් නැහැ. ඒ නිසාම අපි සමථයකට පැමිණීමට හුරු විය යුතුයි. වෘත්තීය සමිතියක් විදිහට ඉල්ලීම් ඉදිරිපත් කළ විට ඒ ඉල්ලීම් සියල්ල ලැබෙන්නේ නැහැ.

කොටසක් ගන්නකොට කොටසක් කළමනාකරණයට පූජා කරන්න වෙනවා. අපි දැඩි මතයක හිටියොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. අවසානයේ කළමනාකරණය තීන්දු ගන්න හිරවෙනවා. කළමනාකරණය අසරණ වෙලා මේවා පිටස්තර තැන්වලට යනවා. මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මේ දවස්වල ජනතාව පීඩාවට පත්කරන හැමෝටම මට කියන්න තියෙන්නේ ඒ දේ තමයි”

ආණ්ඩුවේ  තුනෙන් දෙක අහිමි කරන්න ඕන

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේදී අඟහරුවාදා රැස්විය. මෙහිදී විශේෂ අවධානය යොමු වූයේ පළාත් පාලන පනත  සහ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහිය.

”පළාත් පාලන පනත සම්මතවෙලා තිබෙන නිසා පළාත් පාලන ඡන්දෙට පක්ෂය සූදානම් කළ යුතුයි. ඒ සඳහා හැම අපේක්ෂකයෙකුගේම මූලිකත්වයෙන් ඒ ඒ කොට්ඨාසවල ජනහමු මාලාවක් පැවැත්වීම වැදගත් වෙනවා” ජයන්ත සමරවීර ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරලා හදිසියේ සම්මත කරගන්න පනතට සංශෝධන ගෙන ආ ආකාරයෙන්ම තවත් අහිතකර වගන්ති ගෙනැවිත් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආණ්ඩුවේ උත්සාහයක් තිබෙනවා. ඒ ගැන පැහැදිලි ආරංචි මාර්ග තිබෙනවා” පද්ම උදයශාන්තද එයට එක්විය.

”ඔව් ඔව් ඒ ගැන අපි විමසිල්ලෙන් ඉන්න ඕන” විමල් කියූ විට දේශපාලන සභිකයෝ ඒ ගැන දීර්ඝව සාකච්ඡා කළහ.

”මේ ව්‍යවස්ථාවට එරෙහිව ත්‍රෛනිකායික මහ නායක හාමුදුරුවරුන්ගේ මතය දැනටමත් ප්‍රකාශකර තිබෙනවා. එවැනි අදහස් නොසලකා මේ විදියට කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ආණ්ඩුව වැරදි ගමනක් යන්න හදන්නේ. ඒ නිසා වහාම මෙම ව්‍යවස්ථාව පරාජයට පත්කිරීම සඳහා ආණ්ඩුවට තියෙන තුනෙන් දෙක අහිමි කරන්න ඕන.

ඒකට අවශ්‍ය ජන බලවේගය ගොඩනැගිය යුතුයි. ව්‍යවස්ථාව ගේන්න හදනව නම් පාර්ලිමේන්තුව වට කරන්න ඕන. ව්‍යවස්ථාව පරාද කරන්න පාර්ලිමේන්තුව තුළදීත්, පිටතත් සටන අපි කරගෙන යමු” විමල් කියූ කරුණ දේශපාලන මණ්ඩල සභිකයන් සියලුදෙනා අනුමත කළහ.

”පළාත් පාලන ඡන්දයෙන් සමෘද්ධි නියාමකයන් ඇතුළු කේෂ්ත්‍ර නිලධාරීන්ගේ අයිතිය කප්පාදු කිරීම ආණ්ඩුව කරපු විශාල වරදක්. සියලුම සමෘද්ධි නිලධාරීන් හා කේෂ්ත්‍ර නිලධාරීන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධව පෙළගස්වන්න ඕන. අපි පක්ෂයක් විදියට එයට අවශ්‍ය සහාය ලබාදෙමු” මොහොමඩ් මුසම්මිල් ද කීවේය.

අපිට විභාග ලියන්න අවස්ථාව දෙන්න

නැගෙනහිර -අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් දින 10ක් තිස්සේ අම්පාර නගරය මැද වටරවුමේ අට්ටාලයක් තුළ සිටින්නෙ සිසුන්ට විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබානොදුන් බව පවසමිනි. පැමිණීමේ සියයට අසූව නැතැයි කියමින් සිසුන් 500කට පමණ විභාග සඳහා පෙනී සිටීමට පාලනාධිකාරය ඉඩ ලබා දී නොතිබිණි.

ඔවුන්ගේ සහායට එම විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් එක්දහසක් පන්සියයක් පමණ එක්ව සිටී. මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට මැදිහත් වන්නැයි අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකට සිසුන් කිහිප අවස්ථාවකදී පවසා තිබුණි.

මීට සති දෙකකට පමණ පෙර විමලවීර මෙම ගැටලුව ලක්ෂ්මන් කිරිඇල්ලගේ අවධානයට යොමුකර තිබුණු අතර, එහිදී ඇමතිවරයා පවසා තිබුණේ තමන්ද එම ගැටලුව ගැන දන්නා බවයි.

එහෙත් මෙම සතිය වන තුරු ඇමතිවරයා ඊට විසඳුමක් ලබාදී තිබුණේ නැත. නැවත වරක් සිසුන් විමලවීර හමුවී මේ ගැන සොයා බලන්නැයි කියා සිටියේය. ඒ අනුව සිසුන් හමුවීමට සත්‍යග්‍රහය පවත්වන අට්ටාලය අසලට විමලවීර බදාදා ගියේය.

”සියයට අසූව කියන එක හැමෝටම ගැළපෙන්නෙ නෑ සර්. සමහර සිසුන්ට ප්‍රශ්න තිබෙනවා. කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය වැනි දුර දිස්ත්‍රික්කවල ළමයින්ට බස්වල එන්න සල්ලි නැති වෙලාවල් තියෙනවා. ගෙවල්වල ඉන්න ලෙඩ වුණු අම්මා තාත්තා බලාගන්න අය ඉන්නවා.

සමහර ළමයි දුප්පත්. සමහර අයට අසනීප තියෙනවා. මේ වගේ ගොඩක් ප්‍රශ්න අපිට තියෙනවා. අපි විශ්වවිද්‍යාලයට එන්නේ සටන් කරන්න, අරගල කරන්න නෙමෙයි. අපි සයිටම් කතාවක් කියන්නෙත් නැහැ. අපිට ඕන උපාධිය අරන් යන්න.

පැමිණීම සියයට 79, 75 තියෙන අයටත් විභාග ලියන්න දෙන්නෑ. ඒත් සමහර පීඨවල සියයට 50 තියෙන අයටත් ලියන්න දීලා. අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ” සිසුහු තමන්ගේ ගැටලුව විමලවීරට පෙන්වා දුන්හ.

”මෙච්චර දරුවන් පිරිසක් විභාග නොලියා ඉන්න එක සැලකිය යුතු රටේ ප්‍රශ්නයක්. මේක බරපතළ කාරණයක්. සියයට අසූව නැත්නම් ඒ සඳහා වැඩපිළිවෙළක් යොදන්න ඕන. මාත් මීට ඉස්සෙල්ල උසස් අධ්‍යාපන ඇමතිතුමාටත් මේ ප්‍රශ්නය කිව්වා. නමුත් අද වෙනකම් විසඳුමක් දීලා නැහැ” විමලවීර කීවේය.

”බලන්න සර් ළමයි මාස ගාණක් විභාග නැතිව පාරේ. කාගෙවත් අවධානය මේ ගැන යොමුවෙලා නැහැ. අපිට උපාධිය ගන්න විදියක් නැහැ. අපි විභාග වර්ජනයක් නෙමෙයි කරන්නේ. අපිට විභාග ලියන්න අවස්ථාව දෙන්න” සිසුන් පැවසූහ.

”දැන් මේ ළමයි රෑටත් උපවාසයේ ඉන්නවද?” විමලවීර ඇසූ විට

”පිරිමි ළමයි විතරයි රෑට ඉන්නේ. ගැහැනු ළමයි රෑ වෙනකොට හිතවත් ගෙවල්වලට යනවා. අපි පුළුවන්කමකට නෙමෙයි මේ විදියට වාඩිවෙලා ඉන්නේ” සිසුන්ගේ පිළිතුර විය.

”හොඳයි හොඳයි ලබන සතියේ මං පාර්ලිමේන්තු ගියාම ආපහු කිරිඇල්ල ඇමතිවරයා එක්ක මේ ගැන කතා කරන්නම්. ඒකාබද්ධ විපක්ෂය විදියටත් අපි මේ ප්‍රශ්නයට මැදිහත්වීමක් කරන්නම්. ඒකාබද්ධ විපක්ෂයේ ඊළඟ කණ්ඩායම් රැස්වීමට මේ කරුණ මම ඉදිරිපත් කරන්නම්” සිසුන්ට පොරොන්දුවක් ලබාදුන්නේය.

රනිල් මහින්දට ව්‍යංගයෙන් කිව්වේ මොකද්ද?

ඌව පළාත් සභා මන්ත්‍රී සෙනරත් අත්තනායකගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බදාදා හිටපු ජනපති  මහින්ද ජයරත්න මල්ශාලාවට ගිය අතර, මහින්දට එහිදී අගමැති රනිල් මුණගැසුණේය. දෙදෙනා කතාබහ කරමින් සිටින අතරතුර රනිල් කීවේ ඡන්දය යළිත් කල් යන ලකුණු ඇති බවය.

“ඒ මොකද කල් යන්නේ? මිනිස්සු දැන් ඉල්ලන්නේ ඡන්දයක්. ආණ්ඩුව ඡන්ද කල් දාලා හරියන්නේ නැහැ” මහින්ද පැවසීය.

“ඡන්ද කල් දාන්නේ ඇයි කියලා ඔබතුමා දන්නවානේ ඉතින්” රනිල් මහින්දට ව්‍යංගයෙන් මෙන් කීවේ ඡන්ද කල් දැමීම පසුපස ඇති සැබෑ කතාවය.

මැකෝගේ උපදෙස් ඒකාබද්ධය පිළිගනී

සඳුදා දිනේෂ්, ඩලස්, ප්‍රසන්න ඇතුළු පිරිසක් මැතිවරණ කොමසාරිස්වරයා හමු වූයේ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතෙහි ඇති අඩුපාඩු ගැන කතාබහ කිරීමටය. ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමට ඇති අයිතිය ගැන මෙහිදී විශේෂයෙන්ම කරුණු දැක්විණි.

මෙහිදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඔවුන්ට පැවසූයේ රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වනවා නම් තම සේවා ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට ගොස් මැතිවරණයට ඉදිරිපත්විය යුතු බවයි. කෙසේ හෝ එය පනතට ඇතුළත් වන විට ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස සංශෝධනය වී ඇති අතර, එයද සුදුසු බව මැතිවරණ කොමසාරිස් ඩලස් ඇතුළු පිරිසට පෙන්වා දුන්නේය.

රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට ඉදිරිපත්වීමේදී කොතරම් බලපෑම් කරනවාද යන්න මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයාගේ පැහැදිලි කිරීම් පිළිබඳවත් ඩලස් ඇතුළු පිරිස ක්ෂේත්‍ර නිලධාරීන් පිළිබඳ සංශෝධනයටද එකඟ විය. නමුත් පාර්ලිමේන්තුවේදී එයට විරුද්ධව ඡන්දයක් පවා ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය පසුගිය සතියේ කටයුතු කළේය.

මහින්දානන්දගේ  දුරකථනයේ තිබූ වීඩියෝව  

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුව මෙවරත් පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රසන්න, පවිත්‍රා, රෝහිත, රංජිත් සොයිසා ඇතුළු පිරිසකට විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සැරසෙන බව ඒ වනවිටත් රහසක් නොවීය.

“ඔයාලට විනය පරීක්ෂණ තියන්න යනවලු නේද? මහින්ද ඇසුවේ ප්‍රසන්නගෙනි.

“ඔව් සර් අපිටත් දැනගන්න ලැබුණා. ළඟදී දවසක අමරවීර, දුමින්දලා ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවෙලා මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. අපි ගැන තොරතුරු හොයන්නම කණ්ඩායමක් පත්කරලා තියෙනවා.

ඒ අයලවා අපි පහුගිය කාලයේ කරපු කතා එහෙමත් ගෙන්නගෙන බැලුවලු. එතැනදී කතාවෙලා තියෙනවා ඉක්මන් කරලා විනය පරීක්ෂණ තියන්න. මම අද උදේ ‍පොල්ගහවෙලදී කරපු කතාවත් බැලුවයි කියලයි ආරංචිය” ප්‍රසන්න පැවසීය.

“ඕවා කරන්නේ ඔයාලව බය කරන්නයි. ගණන් ගන්න එපා” මහින්ද කීවේය.

“අයියෝ සර් විනය පරීක්ෂණ කරලා නම් අපිව බය කරන්න වෙන්නේ නැහැ” රෝහිත කීවේය.

“ඔයාලට විනය පරීක්ෂණවලට එන්න එහෙම කියලා තියෙනවද? මහින්ද ඇසුවේය.

“තාම නම් නැහැ. එන්න කියනකම් තමයි ඉන්නේ කට්ටියගේ රෙදි ගැලවෙන්න දෙකක් කතා කරන්න. අපිට ඉස්සර විනය පරීක්ෂණ තියන්න ඕනේ අය ගැනත් මම එදාට කියාදෙනවා” ප්‍රසන්න කීවේය.

“සමෘද්ධි නිලධාරීන් වගේ අය කවදත් අපට හිතවත් අය. මට අද උදේ උදේනිත් කිව්වා සමෘද්ධි නිලධාරීන් 500ක් විතර අපේ පැත්තෙන් ඡන්දේ ඉල්ලන්න ලැහැස්ති වෙලා හිටියයි කියලා. හිටපු මන්ත්‍රීවරුන් අතරත් 300කට වැඩි සමෘද්ධි නිලධාරීන් පිරිසක් ඉන්නවලු.

මේ අය ඡන්දෙකට එන එක වළක්වන්න තමයි ආණ්ඩුව මේ වැඩේ කළේ. ආණ්ඩුව දන්නවා ඒ අයට අවාසියි කියලා” මහින්ද පෙන්වා දුන්නේය.

“අපිව දුර්වල කරගන්න තමයි ආණ්ඩුව කල් මරමින් ඉන්නේ. හැබැයි මේ කපේදි අපිව වට්ටන්න නම් ලැබෙන්නේ නැහැ” පවිත්‍රා කීවාය.
මේ අතර මහින්දානන්ද මහින්ද ඇතුළු පිරිසට තමන්ගේ ජංගම දුරකථනයේ තිබූ වීඩියෝ පටයක් පෙන්වීය. එහි සටහන්ව තිබුණේ ඔස්ට්‍රේලියාවේ නාළිකාවක විකාශය වූ ප්‍රවෘත්තියකි.

වරදක් කරලා නැත්නම් මොනවා කළත් වට්ටන්න බැහැ

සෙනසුරාදා රාත්‍රියේ මහින්ද සිටියේ බෙල්ලන්විලය. එදින බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පෙරහර පැවැති අතර, මහින්ද ගොස් සිටියේ කරඬුව වැඩම්ම වීමේ අවස්ථාවට සහභාගි වීමටය. මහින්ද යන විටත් විජයදාස, ලොකුගේ, උපාලි කොඩිකාර ඇතුළු පිරිසක්ද සිටියහ.

“කොහොමද? විජයදාස රාජපක්ෂ දුටු වහාම මහින්ද ඔහුගෙන් ඇසුවේය.

“ඉන්නවා සර්” විජයදාස පිළිතුරු දුන්නේය.

“මොකක්ද ඇත්තටම වුණේ? මහින්ද ඇසුවේ විජයදාසගේ අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීම කිරීම ගැනය.

“නෑ මට ඇමැතිකමෙන් අයින් වෙන්න කිව්වා. මම මොකටද ඉල්ලා අස්වෙන්නේ. මම වරදක් කරලා නැහැනේ. ඒ හින්දා මම අයින් වෙන්නේ නෑ, පුළුවන් දෙයක් කරන්න කියලා මම කිව්වා. ඒ අය මාව අයින් කළා. ප්‍රශ්නයක් නැහැ සර් මම මගේ ප්‍රතිපත්තිවල දිගටම ඉන්නවා” විජයදාස පැහැදිලි කළේය.

“ඒක හොඳයි. දේශපාලනය කරද්දී ඕවාට මුහුණදෙන්න වෙනවා. සැලෙන්න එපා. තමන් වරදක් කරලා නැත්නම් මොනවා කළත් වට්ටන්න බැහැ” මහින්ද විජයදාසට කීවේය.

මැතිවරණය ඉක්මන් වේවිද?

මෑත කාලයේ දේශපාලන ලෝකයේ බොහෝදෙනාගේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේද සුවිශේෂී අවධානයට ලක් වූ පනතක් වූ පළාත් පාලන ඡන්ද ක්‍රමය යළි කේවල ක්‍රමයකට සමගාමීව සංශෝධනයට ලක් කරමින් පසුගිය 25 වෙනිදා සම්මත කළ පලාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත බලාත්මක කරමින් කථානායකවරයා සිය අත්සන තැබුවේ බ්‍රහස්පතින්දාය. එහිදී කථානායක කරු ජයසූරිය පැවසුවේ මෙවැන්නකි.

”මින්පසු පාපැදියෙන් පයින් ගොස් මහජන සේවයට කැප වෙන ගමේ ජනතාවගේ අවශ්‍යතා හොඳින් හඳුනන වෙද මහත්වරුන්, ගොවියන්, ගුරුවරුන්, කම්කරුවන් වැනි සමාජ සේවයේ යෙදෙන සැබෑ පරාර්ථකාමීන්ට යළිත් දේශපාලනයේ දොර හැරෙනු ඇති”
”දේශපාලනය ධන කුවේරයන්ගේ හා බලවතුන්ගේ විනෝද ක්‍රීඩාවක් බවට පත් වූ යුගය අවසන් කිරීමේ යෝධ පියවරක් මින් තැබෙනු ඇති”

”පිරිසුදු දෑ‍තින් දේශපාලනයට පැමිණ පිරිසුදු දෑතින් සමුගෙන යන, හෘදසාක්ෂියට එකඟ දේශපාලනයක යෙදීමට රටට ආදරය කරන මිනිසුන්ට මේ තුළින් ඉඩ සැලසෙනු ඇති”

මෙය සම්මත කළ නමුත් කෙසේ හෝ ආණ්ඩුව පළාත් පාලන ඡන්දය ප්‍රමාද කිරීම සඳහා උවමනාවෙන්ම පනත බලාත්මක වීම ප්‍රමාද කරනු ඇතැයි ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළහ.

කෙසේවෙතත් අවසාන වශයෙන් පනත බලාත්මක වීමට නම් කථානායකවරයා එහි ස්වකීය අත්සන සටහන් කළයුතු වූ බැවින්,  කාගේත් අවධානය ඔහු වෙතට යොමු විය. කථානායක කාර්යාලයේ දුරකථනයද නිරතුරුව නාද වූයේ පනතට අත්සන් තබන්නේ කවදාද යන්න විමසමිනි.

මේ අතර,  අඟහරුවාදා කථානායක කාර්යාලයෙන් නිකුත් කෙරුණු නිවේදනයක සඳහන් වූයේ කථානායකවරයාගේ අත්සන සටහන් කිරීමට පෙර ඉටු කළයුතු ක්‍රියාපටිපාටිය කඩිනමින් නිමකර 31 වෙනිදා වන විට පනත බලාත්මක කිරීමට කථානායකවරයා පියවර ගනු ඇති බවයි.

මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම 17වැනි සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි පියවර ගණනාවක් සඳහා පුරෝගාමී වූ චරිතයක් ලෙස, ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේදී ප්‍රධාන අරමුණක් ලෙස සඳහන් වූ පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ඉක්මනින්ම සපුරාලීමට කථානායකවරයා උනන්දු විය.

ඒ අනුව පළාත් පාලන විෂය භාර ඇමති ෆයිසර් මුස්තාෆාද කැඳවාගත් හෙතෙම පනතට අත්සන් තැබුවේ බ්‍රහස්පතින්දාය. මනාප ඡන්ද ක්‍රමය නිසා මෙරට දේශපාලන සංස්කෘතියේ රාමුව විකෘති වීම සහ එම විෂම දේශපාලන සංස්කෘතියේ අමිහිරි මතකයන් පිළිබඳව සිහි කළ කථානායකවරයා එම ක්‍රමය වෙනස් කිරීම  උදෙසා 2002 වසරේ සිට පැමිණි දුෂ්කර ගමනේදී සහාය වූ සියලු දේශපාලන පක්ෂ හා වෙනත් සමාජ කොටස්වලට සිය ස්තූතිය පළ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *