ජනපතිගේ කතාව විකෘතිකළායැයි දෙරණට එරෙහිව ක්‍රියාමාර්ග

Untitled-1සත්විරු සංහිඳ වැඩසටහනක් අතරතුර රණවිරුවන් අධිකරණයට රැගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් එහි අර්ථය විකෘති කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලය වරදකරු වී ඇතැයි ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් විසින් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර තම පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා විසින් පසුගියදා දෙරණට ලිපියක් යොමු කර ඇත.

යුද්ධයට සම්බන්ධවූ නාවික හමුදාපතිවරු තිදෙනෙක් අධිකරණයට රැගෙනයාම පිළිබඳව මෙම වැඩසටහනේදී ජනාධිපතිවරයා තම අප්‍රසාදය පළ කර තිබුණි. යුද්ධය කළ රණවිරුවන් තමන්වද දැනුවත් නොකර අධිකරණය වෙත රැගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබුණද හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණය වෙත රැගෙනයාම සම්බන්ධයෙන් ප්‍රකාශ කර නොතිබුණි. නමුත් දෙරණ මාධ්‍ය ආයතනය විසින් විකාශය කළ ප්‍රවෘත්තියේ ‘හිටපු ආරක්ෂක ලේකම්වරයා’ ලෙස ප්‍රකාශ කළ කොටසක් ඊට ඇතුලත්ව තිබූ අතර ඔවුන් විකාශය කළ පුවතට අනුව ඉන් ප්‍රකාශ වන්නේ ‘හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හමුදාපතිවරුන් අධිකරණයට දක්කාගෙන යාම’ පිළිබඳව ජනාධිපතිවරයා තම අප්‍රසාදය පළ කළ බවයි.

එම පුවතත් සමගම හිටපු ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව පවසමින් සමාජයෙන් දැවැන්ත විරෝධයක් ජනාධිපතිවරයා කෙරෙහි එල්ලවිය. ඊට පාදක වූයේ දෙරණ ආයතනය විසින් විකාශය කළ එම ප්‍රවෘත්තියයි.

මාධ්‍ය ආයතන සදහා බලපත්‍ර නිකුත්කිරීමේ අධිකාරී බලය සහිත නිලධාරියා වන ජනමාධ්‍ය ලේකම්වරයා තමාට නීතියෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයෙන් විමසීම් කළ විට එහිදී තම මාධ්‍ය භාවිතා කර ජනමාධ්‍ය ලේකම්වරයාට දැඩි මාධ්‍ය ප්‍රහාරයක් එල්ල කිරීමටද දෙරණ ආයතනය කටයුතු කෙළේය. ඒ මගින් මාධ්‍ය බලපත්‍ර සම්බන්ධයෙන් අධිකාරී බලය සහිත ජනමාධ්‍ය අමාත්‍යංශයද අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන්ද සිදුකළ පරීක්ෂණයේදී දෙරණ ආයතනය වරදකරු වී ඇති බව ජනමාධ්‍ය ලේකම්වරයා විසින් අවසන් වරට යොමුකර ඇති ලිපියේ දැක්වේ. කෙසේ වෙතත් දෙරණ පාර්ශවය වෙනුවෙන් අයෙකු ද එම පරීක්ෂණයට සහභාගී කරවන මෙන් දැනුම් දී තිබුණද ඔවුන් එය මගහැර තිබෙන බවද ජනමාධ්‍ය ලේකම්වරයා පසුගියදා යැවූ එම ලිපියේ සඳහන් වේ.

ඒ අනුව තව දුරටත් දින 14 ක් ඇතුලත තම පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙමින් ජනමාධ්‍ය ලේකම්වරයා මෙම ලිපිය දෙරණට යොමු කර ඇත.

රටේ පොදු අවකාශය හෙවත් සංඛ්‍යාත අවකාශය මහජන දේපොළක් වන අතර විද්‍යුත් මාධ්‍ය සඳහා අදාළ තරංග සංඛ්‍යාත වසරින් වසර අලුත් කෙරෙන ආකාරයෙන් කොන්දේසි රාශියකට යටත් කරමින් රජය විසින් පුද්ගලික ව්‍යාපාරිකයින්ට බදුදීම සිදුකරයි.  එහිදී බලපත්‍රලාභියා එම බලපත්‍ර නිකුත්කරන රාජ්‍ය ආයතනයට වගකීමට නිරන්තරයෙන් බැදී සිටී. යම් ආකාරයකින් එම මහජන දේපළ අවභාවිතවී තිබේද යන්න ඔප්පු වුවහොත් එකී මහජන දේපොළ අවභාවිතා  කිරීම  හේතුවෙන්ද අදාළ ආයතනය යම් දඬුවමකට යටත්විය හැකිය.

ජනපතිගේ ප්‍රකාශය විකෘති කළායැයි කියන දෙරණ නාලිකාව විසින් විකාශය කළ ප්‍රවෘත්තිය සහ එහි මුල් වීඩියෝව පහතින් නරඹන්න.

ජනමාධ්‍ය ලේකම්වරයා විසින් දෙරණ නාලිකාව වෙත යැවූ ලිපිය මෙතැනින් ද පහතින්ද බැලිය හැකියි…

ddd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *