තොරතුරු පනත: විවෘත ආණ්ඩුකරණයක් සහ ශක්තිමත් පුරවැසි සමාජයක් උදෙසා…

WCAG-blog-image-cropped-May-2016විජේසිංහ දිසානායක – විවෘත ආණ්ඩුකරණය ශක්තිමත් කිරීම, පරාධීන මානසිකත්වයෙන් යුත් පුරවැසියා සක‍්‍රීය හා අධීන පුරවැසියෙක් බවට පත්කිරීම සහ සමාජ කි‍්‍රියාවලියට දායක කර ගැනීම සඳහා ඇති අවශ්‍යතාව මගින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම යන අර්ථයෙන් පුරවැසියාට තොරතුරුවලට ප‍්‍රවේශවීමට ඇති අයිතිය තහවුරු කිරීම ප‍්‍රගතිශීලී සමාජ ප‍්‍රතිසංස්කරණයක් ලෙස හඳුනාගත යුතුයි. මානවයාට තමා ජීවත්වන සමාජ දේශපාලනික සංවිධානයෙන් හෙවත් රාජ්‍යයෙන් අයිතිවාසිකම්, යුක්තිය, නිදහස, සමානාත්මතාවය ආදී පූර්ණ අයිතිවාසිකම් ලැබීම හෝ එය සාක්ෂාත්කර ගැනීම සඳහා ක‍්‍රියා කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම ශිෂ්ට හා ප‍්‍රගතිශීලී සමාජයක් තුළ දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයක්.

රාජ්‍යයක් සතු සියලු දේපළ යම් පොදු අධිකාරීමය ආයතනික ව්‍යුහයක් තුළ කුමන හෝ මට්ටමකින් සංවිධානය කොට තිබෙනවා. එම සියලූම පොදු අධිකාරීන්වල අයිතිය රටේ සමස්ත පුරවැසියා සතු වන නමුත්, බොහෝ සංවර්ධනය වෙමින් පවතින, පසුගාමී ආණ්ඩු සැමවිටම එම ආයතන මගින් සිදුකරනු ලබන කටයුතු පිළිබඳ තොරතුරු සඳහා ප‍්‍රවේශ වීමට පුරවැසියාට ඇති හැකියාව උපරිම අයුරින් අවුරා ඇති සංවෘත පාලන ව්‍යුහයන් ක‍්‍රියාත්මක කරනවා. එක් අතකින් එවැනි සංවෘත පාලන භාවිතයක් සහිත ආණ්ඩු තම රටේ පුරවැසියාට ඇති අයිතීන් පිළිබඳ පුරවැසි සාක්ෂරතාව වර්ධනයවීම වළකාලීමට අධ්‍යාපන ක‍්‍රමය මගින් හෝ වෙනත් මතවාදී ව්‍යුහයන් ආශ‍්‍රයෙන් නිරන්තරයෙන්ම මැදිහත් වන අතර ඒ මගින් පසුගාමී, අවිචාරශීලී, නිශ්ක‍්‍රීය හා පරාධීන පුරවැසියෙක් බිහි කර තම ප‍්‍රතිගාමී සමාජ ක‍්‍රමයම පහසුවෙන් ඉදිරියට ද පවත්වා ගැනීමට කටයුතු කරන ආකාරය අප දකින යථාර්ථයයි. මේ මගින් පුරවැසියා නිදහස, සමානාත්මතාව, සාධාරණත්වය සහ ඒ සඳහා ඇති අයිතිය පිළිබඳව උනන්දුවක් නැති නිශ්ක‍්‍රීය පුද්ගලයෙක් බවට පත්වී, වෙනත් පරිබාහිර හේතුද මත ඔහු පූර්ණ පරාධීන වැසියෙක් බවට පත්කර තිබෙන ආකාරය තමයි අපට පෙනෙන්නේ. ඉතා සුළුතරයක් ඇරෙන්නට මෙරට සමස්ත පුරවැසියාම මෙම පරාධීන මානසිකත්වයට පත්ව තිබෙන්නේ මෙම සමාජ භාවිතය අනුවයි.

freedom_of_informationපසුගිය දශක කීපය විමසා බැලීමේදී පැහැදිලි වන්නේ මෙරට බෙහෝ දේශපාලන ව්‍යාපාර ද, එවැනි පසුගාමී දේශපාලන දෘශ්ටියක් සහිතව ක‍්‍රියා කරමින් ඇති, කිසිඳු ප‍්‍රගතිශීලී ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට අසමත් වූ, හුදු දෘශ්ටිමය ව්‍යාපාර බවට පත්ව ඇති බවයි. එම භාවිතය නිසා එක් අතකින් ආණ්ඩුකරණය සංවෘත හා අදූරදර්ශී ආකාරයෙන් ක‍්‍රියාත්මක වන අතර පුරවැසියා ද පසුගාමී පුද්ගලයෙක් බවට පත්කර තිබීම මගින්, එම ක‍්‍රමයම දිගින් දිගටම හා මාරුවෙන් මාරුවට පවත්වා ගනිමින් ඇති ආකාරය කිසියම් හෝ මට්ටමකින් බොහෝ පුරවැසියන්ද දරන මතයයි. එහෙත් රාජ්‍යයක සාමාජිකයෙකු පුරවැසියාය යන තත්වය හැරුණුවිට මෙරට පුරවැසියා සමස්තයක් ලෙස රට තුළ පවතින ආණ්ඩුකරණය හා දේශපාලන දෘශ්ටිමය භාවිතය පිළිබඳව අවිචාරශීලී හා පරාධීන ලක්ෂණ සහිත අයෙක් ලෙස නිරීක්ෂණය කළ හැකියි. ඔහුට පුරවැසියෙකු වීම නිසා ලැබෙන නෛතික දේශපාලන තත්වය වන පුරවැසිභාවය, පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව ඇති සවිඥානිකත්වය අතිශය අඩු මට්ටමක පවතින නිසාම සමාජ මැදිහත්වීම සහ සමාජ ප‍්‍රතිසංස්කරණවලට ක‍්‍රියාකාරීව හවුල් වීම ද පවතින්නේ ඉතා පහළ මට්ටමකයි.

ප‍්‍රාග්ධනය පමණක් නොව ශ‍්‍රමය සහ මානව ද්‍රව්‍ය පිළිබඳව තිබූ සාම්ප‍්‍රදායික කියවීම සහ සීමාවන් පසුකොට ගෝලීය සමාජ ව්‍යුහය මගින් ජාතික රාජ්‍ය සීමාවන් අතික‍්‍රමණය කරමින් සිදුවී ඇති සමාජ පරිවර්තනය මගින් පුරවැසිභාවය අන් කවරදාටත් වඩා අභියෝගයට ලක්වී තිබෙනවා. ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන සමාජ ආර්ථික සම්බන්ධතා මගින් සහ නවීන සමාජයේ තාක්ෂණික හැකියාවන් පුළුල්වීම මගින් පොදු සම්පත් අවභාවිතය පුළුල් හා සංකීර්ණ තත්වයට පත්වී තිබෙනවා පමණක් නොව එමගින් අන්කවරදාටත් වඩා මහජන අධිකාරීන්/පොදු අධිකාරීන් සතු සම්පත් අවභාවිතය සඳහා විවිධ මාවත් ද විවෘතවී තිබෙනවා. ඒ අනුව ආණ්ඩුකරණය විවෘත කිරීම මගින් පොදු අයිතිය සහිත රාජ්‍ය මූල්‍ය, රජයේ ඒකාබද්ධ අරමුදල, එය හැසිරෙන ආකාරය පිළිබඳ තොරතුරු පුරවැසියාට දැනගැනීමේ අයිතිය ලබාදිය යුතුයි. මෙහිදී අවධාරණය කරන්නේ පොදු අධිකාරීන් හෙවත් මොනයම් හෝ ආකාරයකින් රජය සතු ආයතන සතු මූල්‍ය හෝ වෙනත් සම්පත්වල අයිතිය පොදුජනයා සතු බැවින් ඒවා පරිහණය වන ආකාරය පිළිබඳව දැනගැනීමට පුරවැසියාට ඇති අයිතිය සඳහා ප‍්‍රවේශය ලබාදීමයි.

තොරතුරුවලට ප‍්‍රවේශවීමට ඇති අයිතිවාසිකම නොහොත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම කියන්නේ මොකක්ද?
සියලු පොදු අධිකාරීන් සතු තොරතුරු රටේ ඕනෑම පුරවැසියකුට දැනගැනීම සඳහා ඇති අයිතිය ව්‍යවස්ථානුකූලව තහවුරු කිරීම මේ මගින් සිදුකෙරෙනවා. තොරතුරු පනතේ 3 වන වගන්තිය අනුව ‘‘පොදු අධිකාරියක් සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියකුට ම තිබිය යුතු ය’’ යනුවෙන් සඳහන් වන්නේ මෙම අදහස තහවුරු කරමින්. මෙම අයිතිය, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමට කෙටි කලකට පෙර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙනආ 19 වන සංශෝධනයේදී මූලික අයිතිවාසිකමක් බවට පත්කරනු ලැබීම මෙරට තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් ගනු ලැබූ විප්ලවීයම සංශෝධනය ලෙස හඳුනාගත යුතුයි.

govtech-indiaමේ මගින් අපේක්ෂා කරන්නේ පොදු අධිකාරීන්වල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවක් සාමාජීය වශයෙන් පැන නැගී ඇති බැවින් රටේ මහජනතාවට රාජ්‍ය පාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකි සහ රටේ පොදු ජන ජීවිතයේදී සක‍්‍රීය ලෙස සහභාගි විය හැකි සමාජයක් ප‍්‍රවර්ධනය කිරීමයි. මේ අතර ප‍්‍රතිපත්ති සම්පාදනයේදී මහජන සහභාගීත්වය වැඩි දියුණු කිරීම, ආණ්ඩුවේ පාරදෘශ්‍යභාවය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම, රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන දූෂණ සහ රාජ්‍ය සම්පත් නාස්තිය අවම කිරීම මෙම විවෘත ආණ්ඩුකරණ ප‍්‍රතිසංස්කරණය මගින් අපේක්ෂා කරනවා. මෙම පණත් කෙටුම්පත ජනමාධ්‍යවේදීන්ට අදාළ පනතක් ලෙස යම් මතයක් ඉදිරිපත්වී තිබුන ද එය අදාළ වන්නේ පුරවැසියන්ට පමණක් බව මෙම පනත් කෙටුම්පතේ 3 සහ 44 වගන්තිවලින් පැහැදිලිව සඳහන් වෙනවා. වඩාත් යහපත් පරිචය නම්, ජාතිකත්වය හෝ පදිංචිය නොතකා, ඕනෑ ම කෙනෙකුට මෙම පනත මගින් තොරතුරුවලට ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම ලබාදීමට කටයුතු කිරීමයි. කෙසේ වුවද, මෙම අදහසට එරෙහිව යම් ආකාරයකින් විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා මතුවීමේ ශක්‍යතාවක්ද සමාජය තුළ දක්නට ලැබෙනවා.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක පූර්වගාමී (Disclosure takes Precedence) ජාත්‍යන්තර නෛතික මූලධර්ම (International Principles on RTI) වන්නේ උපරිම හෙළිදරව්ව (Maximum Disclosure), ප‍්‍රකාශනය සඳහා බැඳී සිටීම (Obligation to Publish), විවෘත පාලනයේ ප‍්‍රවර්ධනය (Promotion of Open Government), ව්‍යතිරේකවල සීමිත විෂය පථය (Limited Scope of Exceptions), ප‍්‍රවේශයට පහසුකම් සැලසීමේ ක‍්‍රියාවලි (Processes to Facilitate Access), පිරිවැය (Cost), විවෘත රැස්වීම් (Open Meetings), හෙළිදරව් කිරීම යනාදියයි. මෙම මූලධර්ම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතියක් තුළ අන්තර්ගත විය යුතු මූලික හා අත්‍යවශ්‍යම ලක්ෂණ කීපයයි.

මෙම මස 23 වනදා පාර්ලිමේන්තුවේ විවාද කර සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ පූර්විකාවට අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාව මගින් තොරතුරු සඳහා ප‍්‍රවේශවීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් ඉහත පරිදි පුරවැසියාට පොදු අධිකාරීන් වෙත පුළුල් ලෙස ප‍්‍රවේශවීමේ අවකාශය ලැබීමට නියමිතයි. පොදු අධිකාරීන් යන්නට සියලූ රාජ්‍ය නොවන සංවිධාන ද අයත්වන අතර පනතේ විධිවිධානයන්ට එම ආයතන ද, ඇතුලත් වෙනවා. පණත් කෙටුම්පත මගින් පොදු අධිකාරි සම්බන්ධයෙන් කර ඇති නිර්වචනයට අනුව ‘‘තොරතුරුවලට ප‍්‍රවේශ වීම සම්බන්ධයෙන් දක්වා ඇති පරිදි ආණ්ඩුවේ විවිධ මට්ටම්වල අධිකාරි, ආණ්ඩුවේ ශාඛා තුනේ ම අධිකාරි සහ පෞද්ගලික ආයතන, පොදු අධිකාරි ලෙස සැලකිය යුතු වේ. පණත් කෙටුම්පත, පොදු අධිකාරිවල හිමිකාරිත්වය ගැන ද, ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවක් හෝ බලපත‍්‍රයක් යටතේ ඉටු කිරීමට පවරා ගැනෙන ක‍්‍රියාකාරකම් ගැන ද, ආණ්ඩුව විසින් සැලකිය යුතු ලෙස අරමුදල් සම්පාදනය කෙරෙන හෝ පොදු සේවාවක් සම්පාදනය කරන රාජ්‍ය නොවන සංවිධාන’’ ද වශයෙන් ආවරණය කර තිබෙනවා.

මෙම පනතට අනුව පොදු අධිකාරීන් සතු තොරතුරු කියන්නේ මොනවා ද ?

පනත් කෙටුම්පතේ 43 වන වගන්තිය මගින් තොරතුරු යනු කුමක්ද යන්න පිළිබඳව නිර්වචනය කර ඇත්තේ පහත පරිදිය. ‘‘තොරතුරු” යන්නට, පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපය හෝ ස්වභාවය නොසළකා සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක‍්‍රලේඛ, නියම, ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප‍්‍රවෘත්ති පත‍්‍ර, සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත‍්‍ර, රූප සටහන්, රූපමය හෝ ප‍්‍රස්තාරමය වැඩ හෝ ඡුායාරූප, සේයාපට, ක්ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, යන්ත‍්‍ර මගින් කියවිය හැකි වාර්තා, විද්‍යුත් ලිපි සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය ඇතුළු පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය, සහ ඒවායේ යම් පිටපත් ඇතුළත් වේ.’’ මේ අනුව කෙතරම් පුළුල් ක්ෂේත‍්‍රයක් තුළ මෙම තොරතුරු පනත මගින් පුරවැසියාට පොදු අධිකාරීන් සතු තොරතුරු ඉල්ලා සිටීමේ ප‍්‍රවේශය ලබාදී තිබේද යන්න ප‍්‍රදර්ශනය කරනවා.

438272-rtiතොරතුරුවලට ප‍්‍රවේශවීම සඳහා රාජ්‍යයේ පුරවැසියන්ට නීතිමය අවකාශය ලබාදීම බොහෝ සංවර්ධිත රටවලට මෙන්ම සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් මගින් ද, දශක ගණනකට පෙර ආරම්භ කර සාර්ථකව ක‍්‍රියාත්මක කර අත්දැකීම් ලබා තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය දශකය තුළ දී, සමස්තයක් වශයෙන් ලෝකය පුරාම පොදු අධිකාරින් සන්තකයෙහි පවතින තොරතුරුවලට ප‍්‍රවේශ වීමට අවශ්‍ය එම ප‍්‍රතිපාදන නීතිගත කිරීමට ලොව පුරා රටවල් යොමුවී ඇති අතර එමගින් තොරතුරු දැනගැනීම මූලික අයිතියක් ලෙස පිළිගැනීමට අවශ්‍ය සංශෝධන සිදුකර තිබීම ප‍්‍රගතිශීලී හා පූර්වගාමී ලක්ෂණයක්. එය ජාත්‍යන්තර නීතිය යටතේ මෙන්ම සියලූ ප‍්‍රධාන කලාපීය මානව හිමිකම් පද්ධති යටතේ ද මානව අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන්නක්. 1980 ජූනි මාසයේ දී ශ‍්‍රී ලංකාව නිල වශයෙන් අනුමැතිය පළ කළ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතියේ (ICCPR) 19 වගන්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් කරන ලද 2011 පොදු ප‍්‍රකාශය තුළ ද, මානව හිමිකම් පිළිබඳ අන්තර් ඇමෙරිකානු අධිකරණය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දු තුළ ද, අප‍්‍ර‍්‍රිකාවේ ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳ වූ මූලධර්ම ප‍්‍රකාශනය තුළ ද, මෙය මැනවින් පිළිබිඹු වෙනවා.

ජනමාධ්‍යවේදීන්ට වාර්තාකරණය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය ප‍්‍රවේශය ලබාදීම සඳහා මෙම පනත සම්මත කෙරෙනු ඇතැයි සමාජය තුළ මතයක් පැවැතියත්, එය සම්පූර්ණ සත්‍යයක් නොවෙයි. මේ මගින් සිදුවන්නේ විශේෂයෙන්ම රටේ පුරවැසියා ශක්තිමත් කිරීමේ අරමුණින්, ඕනෑම පුරවැසියකුට පොදු අධිකාරීන්වල තොරතුරුවලට ප‍්‍රවේශවීම සඳහා අදාළ වන ව්‍යවස්ථානුකූල අනුමැතිය ලබා දීමයි. එමගින් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට බාධාවක් සිදුනොවන අතර තම වෘත්තීය කටයුතු ඉතා පහසුවෙන් හා සාර්ථක ලෙස ඉටුකර ගැනීම සඳහා පහසු ප‍්‍රවේශයක් සැපයීම ද මෙහි මූලික අරමුණු අතර එක් ප‍්‍රධාන අපේක්ෂාවක්.

තොරතුරු දැනගැනීමේ නීති හඳුන්වාදීමේ පදනම සහ එහි ඉතිහාසය මොකක්ද ?

ලෝකයේ ප‍්‍රථම ප‍්‍රකාශනයේ නිදහස සහ තොරතුරු නිදහස සඳහා අත්වැලක්වූ නීතිය වන්නේ ස්වීඩනයේ 1766 දී සම්මත කරගත් පුවත්පත් නිදහස පිළිබඳ පනතයි. ඒ මගින් ස්වදේශීය සහ විදේශීය මුද්‍රිත ප‍්‍රකාශන වාරණය සම්පූර්ණයෙන්ම අහෝසි කළ අතර රාජ්‍ය ආයතනවල තොරතුරු පොදුජනයාට ලබැගැනීම සඳහා අවශ්‍ය නීත්‍යානුකූල පරිසරය නිර්මාණය කෙරුණා. 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය, බල්ගේරියාව, මෙක්සිකෝව ආදී රටවල මහජන ව්‍යාපාර මගින් ඇතිකළ සමාජ ප‍්‍රවනතා ද මෙවැනි සමාජ ප‍්‍රතිසංස්කරණ සඳහා අනුබලය සපයා ඇති බව සඳහන් කළයුතුයි.

දකුණු ආසියානු කලාපය තුළ විශාල වශයෙන් සමාජ අසාධාරණය මගින් ප‍්‍රත්‍යාවර්තනය කළ සිවිල් අයිතිවාසිකම් උදෙසා වන සමාජ ව්‍යාපාර පැනනැගුණු රාජ්‍යයක් වන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව මගින් එච්.ඩී. ෂවුරී ප‍්‍රධානව විශේෂ කාර්යසාධන කණ්ඩායම මූලික වශයෙන් 2000 වර්ෂයේ ආරම්භ කර සකස්කළ තොරතුරු දැනගැනීම පිළිබඳ මූලික කෙටුම්පත 2002 වර්ෂයේදී සම්මත කරගනු ලැබූවද, තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ පුළුල් නිදහසක් ස්ථාපිත කර තිබීමෙන් ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව ආදී විෂයන්වල විවිධ ගැටළු ඇතිවිය හැකි බවට වූ පුළුල් සමාජ විරෝධ හමුවේ එය ක‍්‍රියාවට නොනැගුන අතර එය නීතිමය ලියවිල්ලක් ලෙස ක‍්‍රියාත්මක වුනේ නැහැ. එහෙත් ප‍්‍රාන්ත ආණ්ඩු වන තමිළ්නාඩුව 1997, ගෝව 1997, රාජස්ථාන් 2000, දිල්ලි 2001, මහාරාශ්ට‍්‍ර 2002 ආදී වශයෙන් ක‍්‍රමයෙන් එම අයිතිය ව්‍යවස්ථාපිත නීතියක් බවට පත්කරගෙන ඇති අතර මධ්‍යම ආණ්ඩුව විසින් 2005 ජූනි මස සම්මත කිරීමෙන් අනතුරුව එම වසරේම ඔක්තෝබර් මාසයේදී පූර්ණ වශයෙන් ක‍්‍රියාවට නගනු ලැබුවා.

ඉන්දියාවේ 2002 වර්ෂයේ සම්මත කරගත් තොරතුරු පනත මගින් තොරතුරු වෙත ප‍්‍රවේශවීමට ලබාදී තිබූ ප‍්‍රවේශය 1923 නිල රහස් පිළිබඳ පනතේ විධිවිධාන මගින් දැඩි ලෙස සීමා කර තිබූ නමුත්, 2005 වර්ෂයේ සම්මත කරගත් පනත මගින් එම සීමා ඉවත්කර තොරතුරු දැනගැනීම පුරවැසියාගේ මූලික අයිතියක් බවට පත්කළා. එමෙන්ම අන්නා හසාරේ වැනි සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්ගේ නායකත්වය සමග සමාජ අසාධාරණයට එරෙහිව ඉන්දියාවේ විවිධ කාලවල මතුවූ දූෂණ විරෝධී ව්‍යාපාර මගින්ද තොරතුරුවලට ප‍්‍රවේශවීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳ සමාජ ව්‍යාපාරයක්, බලවේගයක් නිර්මාණය වීම සිදුවූ බවද, එය මෙවැනි සමාජ ප‍්‍රතිසංස්කරණ ඇතිකිරීම සඳහා පෙළඹවීමක් ඇතිකළ බව ද කිවයුතුයි.

ශ‍්‍රී ලංකාවට තොරතුරු දැනගැනීමේ නීති හඳුන්වාදීම සඳහා ගෙන ඇති අතීත උත්සාහයන් මොනවා ද?
පනතක් වශයෙන් සම්මතවූ, සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම ආවරණය වන ආකාරයේ තොරතුරු දැනගැනීම පිළිබඳ නීති රාමුවක් අප රට තුළ නොවූව ද, 1939 වසර වැනි අතීතයේ සිටම ප‍්‍රාදේශීය පාලනය තුළ එවැනි උත්සාහයන් ගෙන ඇති ආකාරය පරීක්ෂා කළ හැකියි. ඒ මූලික පියවර තබා ඇත්තේ 1939 අංක 61 දරන නගර සභා අඥා පනත මගින් පනවා ඇති නීතියක් මගින්. එම නීතියට අනුව ‘‘නගර සභාවක ගිණුම් පොතක් හෝ පොත් සියලූ සාධාරණ වේලාවන්හිදී සභාවේ සභිකයින් විසින් හා සභාව විසින් පරිපාලනය කරනු ලබන නගරයේ ඇතුලත පදිංචි සෑම ගෘහ මූලිකයෙකු විසින්ම පරීක්ෂා කරනු ලැබීම ස`දහා තබා තිබිය යුතුවූ අතර සභාවේ යම් සභිකයෙකු හෝ යම් ගෘහ මූලිකයෙකුටම එකී පොතක හෝ පොත්වල පිටපත් හෝ උදෘත කිසි`දු ගෙවීමක් නොමැතිව ලබා ගත හැකිය.’’ යන ප‍්‍රතිපාදනය මගින් නගර සභා සතු පොදු තොරතුරු වෙත එම ප‍්‍රදේශයේ පදිංචි වැසියාට අවශ්‍ය ප‍්‍රවේශය සලසා තිබුණා. මෙම පනතට අමතරව විසුවලිංගම් එදිරිව ලියනගේ – 1984 (සැටඬේ රිවීව් නඩුව), ප‍්‍රනාන්දු එදිරිව ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව – 1996, පරිසර පදනම එරෙහිව නාගරික සංවර්ධන අධිකාරිය – 2005 නඩු තීන්දු මගින් ද ශ‍්‍රී ලංකා පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ඇති බව සඳහන් කර තිබෙනවා.

_80002957_foiමේ අතර ලංකාවේ පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෑත ඉතිහාසයේ විවිධ උත්සාහයන් ගෙන ඇති ආකාරයත්, එහි වැදගත්කම පෙන්වාදුන් අවස්ථා කීපයකුත් සඳහන් කිරීම අත්‍යවශ්‍යයි. කුමන දේශපාලන අධිකාරියක් යටතේ ගත් උත්සාහයක් වුව ද, පුරවැසියාට තොරතුරු දැනගැනීම සඳහා ප‍්‍රවේශය ලබාදී විවෘත ආණ්ඩුකරණයක් ඇතිිකිරීම සහ පුරවැසියා බලගන්වමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කීරීම සඳහා ගෙන ඇති එම තීරණ ඇගයීමට ලක් කළ යුතුයි.

මෙම උත්සාහයන් අතර 1995 ආර්.කේ. ඩබ්. ගුණසේකර කමිටු වාර්තාව, 1996 නීති කොමිෂන් සභා කෙටුම්පත, 1995 සිට 2000 දක්වා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවල අන්තර්ගත යෝජනා, 2003 වර්ෂයේදී තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සහ කෙටි කාලයක් තුළ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, 2011 කරු ජයසූරිය පුද්ගලික මන්ත‍්‍රී පනත් කෙටුම්පත පරාජයට පත්වීම, විජයදාස රාජපක්ෂ, මහාචාර්ය රජීව විජේසිංහ යන මහත්වරුන් සකස්කර ඇති පනත් කෙටුම්පත්, එල්.එල්.ආර්.සී වාර්තාව ඒ අතර කැපීපෙනෙන අවස්ථා කීපයයි.

මේ පිළිබඳවූ දේශීය නීති අතර තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කරන නීති ද, සැලකියයුතු සංඛ්‍යාවක් තිබෙන බව සඳහන්කළ යුතුමයි. එයින් ප‍්‍රධානතම පනත් තමයි 1955 අංක 32 දරන නිල රහස්‍යතා පනත, 1973 අංක 5 දරන ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත, ශ‍්‍රී ලංකාවේ ආයතන සංග‍්‍රහය, 1947 අංක 25 දරන මහජන ආරක්ෂක පනත, 1958 අංක 47 දරන ආගම් විරෝධී ප‍්‍රකාශන පනත, 1912 අංක 7 දරන මහජන ප‍්‍රදර්ශන ආඥා පනත, 1927 අංක 4 දරන අශ්ලීල ප‍්‍රකාශන ආඥා පනත, 1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදී පනත්. මෙම පනත් සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අතර බැලූ බැල්මට ගැටීමක් ඇතිවිය හැකි බව පෙනෙන්නට තියෙනවා. ඒත් තොරතුරු පනතේ පළවන කොටසේ 4 වන වගන්තිය මගින් එවැනි ගැටීමක් සිදුනොවන ලෙස යොදා ඇති ප‍්‍රතිපාදනය ඉතා වැදගත් එකක්. එම වගන්තියේ සඳහන් වන ආකාරයට ‘‘වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවල පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන අතර අනනුකූලතාවයක් හෝ ගැටීමක් ඇති අවස්ථාවක, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු’’ බව සඳහන්.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතියේ (ICCPR) 19 වගන්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් කරන ලද 2011 පොදු ප‍්‍රකාශය තුළ ද, මානව හිමිකම් පිළිබඳ අන්තර් ඇමරිකානු අධිකරණය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දු තුළ ද, අප‍්‍ර‍්‍රිකාව තුළ ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳ වූ මූලධර්ම ප‍්‍රකාශනය තුළ ද, මෙය හොඳින් පිළිබිඹු වන අතර මේ වනතෙක් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කර නොමැති එකම දකුණු ආසියාතික රාජ්‍යය ශ‍්‍රී ලංකාව වීම දකුණු ආසියානු කළාපයේ වෙනත් බොහෝ දර්ශකවලින් ඉදිරියෙන්ම සිටින රටක් වශයෙන් පසුගාමී තත්වයක් වුනත්, මෙම නීතිය සම්මත කරගැනීමට මෑත ඉතිහාසයේ විවිධ උත්සාහයන් ගෙන තිබෙන අවස්ථාද දකින්න තියෙනවා. ඒ සෑම අවස්ථාවක්ම අසාර්ථක වීමට මූලික හේතුව වුනේ තොරතුරුවලට ප‍්‍රවේශවීමට ඇති අයිතිය පිළිබඳව ජනතාව තුළින් ශක්තිමත් මැදිහත්වීමක්, සමාජ බලවේගයක් මගින් මේ සඳහා ප‍්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් නොවීමයි.

Open-Government-Partnership-Making-All-Voices-Countමේ නීතිය සම්මත කිරීම පිළිබඳ මුල්ම අවධානය යොමුවී ඇත්තේ 1994 වසරේ දී තොරතුරු, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධූරයේ කටයුතු කළ ධර්මසිරි සේනානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති එවක ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳ කැබිනට් පත‍්‍රිකාවක් මගින්. තොරතුරු දැනගැනීමේ අයිතිය පුළුල් ලෙස පිළිගන්නා බවත්, තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය රැකවරණයක් ලබාදෙන බවත් එම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවට ඇතුලත් කරලා තියෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළයුතු බවට මුල් වරට ප‍්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙන්නේත් මෙම අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව මගින්ම තමයි. පසුව ජනමාධ්‍ය අමාත්‍යංශය විසිත් පත්කළ ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර කමිටුව මගින් නිර්දේශ කර ඇත්තේ පවතින ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් ආකාරයට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට තොරතුරු දැනගැනීමේ අයිතිය ද ඇතුලත් කළ යුතු බවයි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 81/95 අනුව, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුනොවී පවතින නීති රාමුව තුළ වන ප‍්‍රකාශනයේ අයිතිය පිළිබඳ ව්‍යවස්ථා යටතට තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුලත්වීම මගින් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බවට වූ තීන්දුව නිසා එම අවස්ථාවේදී ද එය ක‍්‍රියාවට නැගීම නතරවී තිබෙනවා.

1995 වසරේදී මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප‍්‍රතිසංස්කරණය සඳහා උපදෙස් ලබාදීමට ජනමාධ්‍ය හා සංචාරක අමාත්‍යවරයා විසින් පත්කරන ලද උපදේශක කමිටුවේ සභාපති නීතීඥ ආර්.කේ.ඩබ්. ගුණසේකර මහතා ඇතුළු කමිටුව විසින් තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳව පනතක් ගෙනඒම සුදුසු බවට යෝජනා කර ඇති අතර ව්‍යතිරේඛයකට වඩා හෙළිදරව් කිරීම රීතිය බවට පත්විය යුතු බවත්, තොරතුරු ප‍්‍රවේශයට සියලූදෙනාට සමාන අයිතියක් පැවතිය යුතුය යන්නත්, තොරතුරු ඉල්ලා සිටින්නෙකු එකී තොරතුරු හෙළිදරව් කිරීමේ යුක්තිසහගත බව ඔප්පු කිරීමකින් තොරව යම් තොරතුරු ලබානොදීම යුත්ති සහගත බව ඔප්පුකිරීමේ වගකීම රජය මත පැවරීමත්, අයුතු ලෙස තොරතුරු ලබාදීම ප‍්‍රතික්‍ෂේප කිරීමකට එරෙහිව අධිකරණමය සහන ලැබීමේ හැකියාව ආදී මූලධර්මවලට අමතරව ප‍්‍රගතීශීලී ප‍්‍රතිපාදන ගණනාවක්ම මෙම නිර්දේශවලට ඇතුලත්කර තිබෙනවා. ඉන් පසු තොරතුරු සඳහා ප‍්‍රවේශවීම පිළිබඳ පනත් කෙටුම්පතක් ශ‍්‍රී ලංකා නීති කොමිසම විසින් 1996 වර්ෂයේදී ඉදිරිපත් කර තිබුණ නමුත් එය ද මීට පූර්ව අවස්ථාවලදී මෙන්ම ආසාර්ථක වූ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වෙනවා.

ඉන් පසු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව නැවැත සාකච්ඡාවක් සිදුවී ඇත්තේ මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම් පිළිබඳව 1998 අපේ‍්‍රල් 27 දින සිට 29 දින දක්වා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ජනමාධ්‍ය සමුළුවේදී සම්මත කරගන්නා ලද ‘‘මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ වූ කොළඹ ප‍්‍රකාශනය’‘ මගින්. එම අවස්ථාවට පසු 2000 වර්ෂයේදී පාර්ලිමේන්තුවට ගෙනආ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ මූලික අයිතිවාසිකම් යටතට ද තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුලත් කර තිබෙන නමුත්, එවක විපක්ෂයෙන් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධව එල්ලකර ඇති දැඩි විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

2002 හා 2003 වසරවලදී වසරේ දී කතෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය එක්ව තොරතුරු ලබාගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර සාකච්ඡා වාර කීපයකට පසුව විවිධ සංශෝධන සහිතව 2003 වසරේදී අධිකරණ අමාත්‍යංශය විසින් අවසන් කෙටුම්පත සකස් කර 2004 පෙබරවාරි මාසයේ දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නමුත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බැවින් එම පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳ ඉදිරි කටයුතු ද අතරමග නතරවුනා. 2009 වර්ෂයේ අග භාගයේදී අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක් මගින් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ හා කර්තෘ සංසදයේ ද අදහස් ලබාගෙන තොරතුරු සඳහා ප‍්‍රවේශවීම පිළිබඳ පනත් කෙටුම්පතක් සකස් කෙරුනා. මෙහි කෙටුම්පත සකස් කිරීම 2005 වසරේදී ඉන්දියාව විසින් සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ද අධ්‍යයනය කොට සිදුකර ඇති අතර 2010 ජනාධිපතිවරණයෙන් පසු එම පනත් කෙටුම්පත ද ඉදිරියට ගෙනයාම අතරමග නතරවුනා.

මේ අතර 2010 වසරේදී එවකට විපක්‍ෂ මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ විජේදාස රාජපක්‍ෂ මහතා විසින් ද පෞද්ගලික පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමට තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත් කෙටුම්පතක් සම්පාදනය කර තිබුණ නමුත්, එය ද විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දක්වා අවශ්‍ය ඉදිරි පියවරවලට ගොස් නැහැ.

මේ සියලු උත්සාහයන් අතර ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීති සම්පාදනයට අදාළව එක් වැදගත් අවස්ථාවක් වන්නේ 2010 වසරේ සැප්තැම්බර් මාසයේදී විපක්‍ෂ මන්ත‍්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතයි. එහෙත් එවක ආණ්ඩු පක්‍ෂය විසින් එවැනි පනත් කෙටුම්පතක් ගෙන ඒමේ සූදානමක් ඇති බැවින් මෙම කෙටුම්පත සභාගත කිරීමට ආණ්ඩු පක්ෂය සහයෝගය නොදීම නිසා එම අවස්ථාව ද වැළකී ගියා. එම අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ අදහස වූයේ මෙවැනි නීතියක් සම්මත කරගැනීම ප‍්‍රතිපත්තිමය කරුණක් වන බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ ආණ්ඩු පක්‍ෂය වන බවයි. ඒ අනුව මෙම කෙටුම්පත ඉවත් කරගත යුතු බවත්, ඉදිරියේදී ආණ්ඩු පක්‍ෂයෙන් එම පනත ගෙන එන බවට දුන් පොරොන්දුවක් මත කරු ජයසූරිය මහතාට සිය යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට සිදුවුනා.

සාමාන්‍යයෙන් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පනත විවාදයට ගෙන සම්මත කරනවාද, නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කර තීරණය කිරීමට මාස හයක කාලයක් ලබාදීම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායයි. මාස හයක් ඇතුලත එම කෙටුම්පත සාකච්ඡාවට ගන්නවාද යන්න පිළිබඳ නිගමනයකට ඒමට අපොහොසත් වුවහොත්, නිරායාසයෙන්ම එය සාකච්ඡාවට ගතයුතු බවට රීතියක් පවතිනවා. මෙම පනතට ද එම අවස්ථාව උදාවූ නමුත්, පැවැති ආණ්ඩුව එම පනත සාකච්ඡාවට ගන්නවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පැවැත්වූ අතර පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම නොකළයුතු බවට බහුතර ඡන්දයෙන් සම්මත වුනා. ඒ අනුව එම අවස්ථාවද අසාර්ථක වූ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වුනා.

එයට වසර කීපයකට පසු වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට සමගාමීව දින 100 වැඩසටහනක් ඉදිරිපත් කර තිබූ අතර එහි එක් ප‍්‍රධාන පොරොන්දුවක්ව තිබූ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නීතිය, ප‍්‍රචාරණමය අවශ්‍යතාවය මත එහි වපසරිය සහ ඒ සඳහා ගතවන කාලය පිළිබඳව තක්සේරුවකින් තොරව කර තිබූ බැවින් එම කාලය තුළ සම්මත කර ගැනීමට හැකියාව ලැබුනේ නැහැ. එසේ වුවත්, වත්මන් ආණ්ඩුවට සිවිල් සංවිධානවලින් හා ජනවරමෙන් ගැලවීමට නොහැකිවූ බැවින් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් දින 100 තුළදී සම්මත කර ගැනීමට නොහැකි වූ පණත් කෙටුම්පත මහජනතාවගෙන් සහ රටේ පළාත් අධිකාරිවලින් ප‍්‍රතිපෝෂණ ලබා ගැනීම සඳහා එය ප‍්‍රසිද්ධියට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුවුනා.

මෙවැනි පනතක අවශ්‍යතාව සහ එය ඉක්මනින් සම්මත කරගැනීමට අවශ්‍ය සමාජ බලකිරීම පවතින විපක්ෂය මගින් සිදුකිරීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි. එහෙත් එම සම්ප‍්‍රදායෙන් වියුක්තව සිවිල් සංවිධානවල සහ ආණ්ඩුව පාර්ශවයෙන්ම අදාළ මෙහෙයවීම සිදුකිරීම මෙහි ඇති විශේෂත්වයයි. යම් ආණ්ඩුවක් බලයට පැමිණි මුල් කාලයේදී මෙවැනි පනතක් සම්මත කර ගැනීමට එතරම් උනන්දුවක් නොදැක්වීම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර දැකියහැකි වූ සාධනීය ලක්ෂණය වූයේ ආණ්ඩුවේ ප‍්‍රධානීන් මෙන්ම මෙම කාර්ය පවරා තිබූ ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශයේ ඇමතිවරු ද, විවිධ සිවිල් සංවිධානවල සහයෝගය ද ඇතිව මෙම පනත් කෙටුම්පත සම්පාදනයට අවශ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක කිරීමයි.

ඉන් පසු 2015 මාර්තු 12 වන දින පැවති කැබිනට් රැස්වීමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් කැබිනට් පත‍්‍රිකාවක් ගෙන එන ලද අතර මෙම පනත කෙටුම්පත් කිරීමේ වගකීම ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය වෙත පවරන ලදුව ජනමාධ්‍යවේදීන්, නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීනයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන්ගේ කමිටුවක් මගින් කෙටුම්පතක් සම්පාදනය කෙරුණා. 2015 අපේ‍්‍රල් 22 වන දින කැබිනට් මණ්ඩලය වෙත අග‍්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් පත‍්‍රිකාවක් ගෙනඑමින් මෙම පනත හදිසි පනත් කෙටුම්පතක් ලෙස ගෙන ආයුතු බවට කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය හිමිවුනත්, ඒ වනවිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙනආ 19 වන සංශෝධනය මගින් හදිසි පනත් ගෙන ඒමේ ක‍්‍රමවේදය අහෝසි කර තිබූ බැවින්, නැවත 2015 අපේ‍්‍රල් 29 වන දින අග‍්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනඑන ලද අතර විවිධ ආයතන හා පුද්ගලයන් විසින් ඉදිරිපත් කළ සංශෝධනද ඇතුලත්කර සකස්කළ නව පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙනු ලැබුවා. ඉන්පසු සාමාන්‍ය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙනඒමට අදාළව 2015 දෙසැම්බර් 18 වන දින කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පළ කිරීමෙන් පසුව 2016 මාර්තු 24 වන දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත් කෙටුම්පත ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යායපත‍්‍රයට ඇතුලත් කළ මුල් අවස්ථාවේදී එහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 5ක් යොමුවූ අතර, නීතිඥ සංගමය ඇතුලූ සංවිධාන හා පුද්ගලයන් 5 දෙනෙකු මෙම පෙත්සම්වලට එරෙහිව මැදිහත්වීම සිවිල් සමාජය මෙම පනත සම්මත කරගැනීම දක්වා කළ කාර්යභාරය මනාව ප‍්‍රදර්ශනය කරන අවස්ථාවක්. එකී මැදිහත් වූ පාර්ශවකරුවන්ගේ ස්ථාවරය වුනේ පනත් කෙටුම්පත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවයි. මෙම පෙත්සම් විභාගය 2016 අපේ‍්‍රල් 5 හා 6 දෙදින තුළ අගවිනිසුරුවරයා සහ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු ඉදිරියේදී පවත්වන ලද අතර එහි කටයුතු ඉදිරියට ගෙනයාමට හැකිවන පරිදි තීන්දුවක් ලබාදුන්නා. මෙම නඩු තීන්දුව මගින් ද, පනත් කෙටුම්පතේ ඉදිරි කටයුතුවලට බාධාවක් නොවූ අතර, පනත් කෙටුම්පතෙහි සමස්ත ගුණයට හානියක් නොවන ආකාරයේ සුළු සංශෝධන සහිතව, පළාත් සභාවල අනුමැතියද සහිතව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමේ හැකියාව ලැබීම විශේෂ අවස්ථාවක්.

ගෝලීය මට්ටමින් පුළුල් පිළිගැනීමකට පාත‍්‍රව ඇති නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මධ්‍යස්ථානය (CLD) සහ ඇක්සස් ඉන්ෆො යුරොප් සංවිධානය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නීතිවල ප‍්‍රබලතාව තක්සේරු කිරීම සඳහා යුනෙස්කෝව සහ ලෝක බැංකුව වැනි අන්තර් ආණ්ඩුමය ආයතන ද, ඇතුළු විවිධ ක‍්‍රියාකාරකයන් ගණනාවක් විසින් ම පදනම් කර ගනු ලබන ආයතන දෙකකි. මෙම සංවිධාන විසින් සකස්කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ප‍්‍රබල නීතියක් තුළ පැවතිය යුතු සියලු ධනාත්මක ගුණාංග පිළිබිඹු කරන, ප‍්‍රභේද 7ක් පුරා පැතිරුණු දර්ශක 61කින් සමන්විත අනුප‍්‍රමාණනය පදනම් කර ගෙන පණත් කෙටුම්පත පිළිබඳව එම ආයතන විසින් කර ඇති කඩිනම් තක්සේරුවක් අනුව මෙම පණත් කෙටුම්පත සමස්ත ලකුණු 150 කින් 120 ක් ලබාගැනීම විශේෂ ඉදිරි පියවරක්. මෙය වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ තත්වයක් වන අතර එම ලකුණු ප‍්‍රමාණය අනුව පණත් කෙටුම්පත, ගෝලීය වශයෙන් හොඳම තොරතුරු දැනගැනීමේ පනත් අතුරින් හත් වන ස්ථානයකට පත්වීඇති බව එම සංවිධාන ප‍්‍රසිද්ධ කළා. මෙයට ඉහළින් සිටින එකම දකුණු ආසියාතික රට වන්නේ ඉන්දියාවයි.

තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමෙන් පසු එම පනතේ සඳහන් නිශ්චිත කාලය තුළ තොරතුරු කොමිසමක් පිහිටුවීම, තොරතුරු නිලධාරීන් පත්කිරීම වැනි මූලික කරුණුවලින් පසු ඕනෑම පුරවැසියෙකුට පොදු අධිකාරීන් සතු තොරතුරක් ලබාගැනීමේ අයිතිය හිමි වන අතර රාජ්‍ය පරිපාලන ක්ෂේත‍්‍රයේ පමනක් නොව ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ ද, විශාල පෙරළියක් සිදුවන ප‍්‍රතිසංස්කරණයක් ලෙස ක‍්‍රියාකාරී වීමට නියමිතයි. පොදුවේ පුරවැසියාට අමතරව මෙම නීතිය මගින් ජනමාධ්‍යවේදීන්ට ලැබෙන ප‍්‍රධානතම ප‍්‍රයෝජන කීපයක් වන්නේ පොදු අධිකාරීන්වලට අදාළ මාධ්‍ය මගින් පළකරනු ලබන තොරතුරුවල විශ්වසනීයත්වය හා නිරවද්‍යතාව සහතික කර ගැනීම, සාධනීය තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව වැඩිවීම, සමාජ වටිනාකම්, සිව්වෙනි ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය තහවුරු වීම ආදියයි.

වෙනත් රටවල ක‍්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ පනත්වල මෙන්ම මෙම පනත මගින් ද, පනවනු ලබන මූලික විධිවිධාන කීපයක් තිබේ. නිල තොරතුරු ලබාගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම, තොරතුරු ලබාගැනීම ප‍්‍රතික්ෂේප කිරීමට පාදක වන කරුණු නිශ්චිතව සඳහන් කිරීම, තොරතුරු ලබාගැනීමේ නිදහස පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපනය කිරීම, තොරතුරු නිලධාරීන් පත්කිරීම සහ පුහුණු කිරීම එම මූලික කරුණු කීපයයි.

මෙම පනත මගින් තොරතුරු ලබාගැනීමට සීමා කිරීම් පනවා තිබේද ?

මෙම පනත ක‍්‍රියාවට නැගීමේදී මුහුණදීමට සිදුවන යහපත් ලක්ෂණ මෙන්ම අයහපත් ලක්ෂණ කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීම ද අත්‍යවශ්‍යයි. සෑම පුරවැසියකුටම පොදු අධිකාරියක් සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම මෙම පනත මගින් සහතික කර ඇතත්, කිසිවෙකුටත් ලබාදීම ප‍්‍රතික්‍ෂේප කළ හැකි තොරතුරු ප‍්‍රභේද කීපයක් ද පනතේ දෙවන කොටසේ විස්තර කර තිබෙනවා. පොදු වැදගත්කමත් නොමැති අනවශ්‍ය ලෙස යම් පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානි කරන තොරතුරු, රාජ්‍ය ආරක්‍ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවයට හානිවන තොරතුරු, ජාත්‍යන්තර ගිවිසුමක් හෝ බැඳීමක් නිසා හෙළිකළ නොහැකි තොරතුරු, හෙළිකිරීම නිසා ආණ්ඩුවේ අඛණ්ඩ ආර්ථික ප‍්‍රතිපත්තිවලට බාධාවිය හැකි තොරතුරු, බුද්ධිමය දේපළ පනතට ගැනෙන වාණිජ රහස් පිළිබඳ තොරතුරු, පුද්ගලික වෛද්‍ය වාර්තා, නීතිපතිවරයාගේ කාර්යය සම්බන්ධ තොරතුරු, භාරකාර සම්බන්ධතාවයක් මත රහසිගතව තබාගත යුතු තොරතුරු, හෙළිදරව් කිරීමෙන් අපරාධ වැළැක්වීමට බාධාවක් වන තොරතුරු, අධිකරණයට, පාර්ලිමේන්තුවට අපහාස වන තොරතුරු, විභාගවලට අදාලව රහසිගතව තබාගත යුතු තොරතුරු එම ප‍්‍රභේද කීපයයි.

මෙම කුමන සීමාවක් තිබුණ ද මහජන යහපතෙහි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප නොකළ යුතු බව පනත් කෙටුම්පතේ 5 (4) වගන්තියේ සඳහන් වෙනවා. පණත් කෙටුම්පත තුළ පවත්නා තොරතුරු ලබාදීම බැහැර කිරීමේ ක‍්‍රමය සංක්ෂිප්ත ලෙස කෙටුම්පත් කරනු ලැබ ඇති අතර බැහැර කිරීම් සියල්ලම පොදු අවශ්‍යතාවක් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමට යටත් කර තිබීම මෙහි ඇති සාධනීය ලක්ෂණයක්.

එහෙත් මහජන යහපතෙහි වැදගත්කම සළකා ඉහත වර්ගවල තොරතුරු ද ලබාදීමේ හැකියාවක් තිබේනම්, එම තොරතුරු ද පනතේ ප‍්‍රතිපාදන මගින්ම කිසිඳු සීමාවකට ලක් නොකොට ලබාදිය හැකිව තිබුණා. එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයින්ට මෙම ඕනෑම වර්ගයකට අයත් තොරතුරු ලබාගැනීමේ කිසිඳු ආකාරයක බාධාවක් නොමැති තත්වයක් තුළ පුවැසියාට සීමා දැමීම අතාර්කික ලක්ෂණයක් ලෙස දැකිය හැකියි.

පණත් කෙටුම්පතේ පූර්විකාව මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම නිසා සැලසෙන වඩාත් පුළුල් වූ ප‍්‍රතිලාභ ගණනාවක්ම පිළිබඳව විශ්වාසය ඇතිකිරීමට උත්සාහ දරනවා. විවෘත ආණ්ඩුකරණය පෝෂණය කිරීම, රාජ්‍ය වගකීම හා යහපාලනය ප‍්‍රවර්ධනය කිරීම, පුරවැසියා ශක්තිමත් කිරීම සහ රාජ්‍ය පාලනයට හවුල්කර ගැනීම, දූෂණයට එරෙහිව සටන් කිරීම ද ඒ අතර වෙනවා. කෙසේ වුව ද මෙම ප‍්‍රතිලාභ සැලසෙන අයුරින් එහි විධිවිධාන කි‍්‍රයාවට නැගිය යුතුයැයි ඉල්ලා සිටින කිසිඳු ප‍්‍රකාශයක් පණත් කෙටුම්පතෙහි ඇතුළත් නොවීම පිළිබඳව අවධානය යොමුවිය යුතුව තිබුණා.

මෙම පනත් කෙටුම්පතෙහි 12 (5) වගන්තියට අනුව ඇති ප‍්‍රධානතම දුර්වලතාවක් ලෙස නිරීක්ෂණය කළ හැකි වන්නේ ජනාධිපතිවරයා විසින් කොමිසමේ සභාපතිවරයා පත් කරනු ලැබීම යි. වඩාත් යහපත් පරිචය වන්නේ, සිය සාමාජිකයන් අතරින් සභාපතිවරයෙකු තෝරා පත් කිරීමට කොමිසමට ම ඉඩ ලබා දීම යි.

ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු ගිවිසුම අත්සන් කිරීමට පෙර ලබාගැනීම සීමා කර තිබීම මෙම පනතේ තොරතුරු සීමා කිරීම සම්බන්ධයෙන් ඇති තවත් පසුගාමී ලක්ෂණයක්. මේ පිළිබඳව විවිධ සංශෝධන විපක්ෂයෙන් ඉදිරිපත් වුව ද, එම ගිවිසුම්වලට අදාළ තොරතුරු ලබාදීම සඳහා මෙම පනතින් ප‍්‍රතිපාදන සැලසීමට එකඟ නොවූ අතර ඉදිරියේදී ඒ සඳහා වෙනත් නීතියක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේදී තිරණය වුනා.

එමෙන්ම මෙම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතින් දැනට නඩු කටයුතුවලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව සතුව ඇති වාර්තා ලබැගැනීම ද සීමා කොට තිබෙනවා. දැනට විභාග වෙමින් පවතින නඩු කටයුතුවලට අදාළ තොරතුරු ලබාදීමෙන් යම් පාර්ශවයකට හෝ සමස්ත නඩුවේ තීන්දුව කෙරෙහි ඇතිවිය හැකි අයහපත් බලපෑම සළකා එම තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ ද, දැනට විභාගකර තීන්දුව දී ඇති නඩු කටයුතු පිළිබඳ තොරතුරු හෝ ලබාදීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන මෙම පනතට ඇතුලත් කර නොතිබීම ඉතා අයහපත් ලක්ෂණයක්. මේ පිළිබඳවද විවිධ සංශෝධන කාරක සභා අවස්ථාවේදී මතුවුන ද, ඉහත පරිදි ඉදිරියේදී ගෙනඑනු ලබන වෙනත් නීතියකින් එම තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදීමට පොරොන්දු වෙමින්, මෙම පනතට එම සාධනීය සංශෝධන එකතු නොකිරීමට ගත් තීරණය මෙම පනතේ ගුණාත්මකභාවය පහත හෙලන්නක් වනවාට සැකයක් නැහැ.

යම් තොරතුරක් දින 14 ක් ඇතුලත ලබාදීමට අපොහොසත් වන තොරතුරු නිලධාරියෙකුට විරුද්ධව ක‍්‍රියාකළ හැකි ආකාරය ද ඉතා දීර්ඝ ක‍්‍රියාවලියක්. එය අධිකරණය දක්වා යන පියවර කීපයකින් යුක්ත වන බැවින් එවැනි අවස්ථා තොරතුරු ඉල්ලා සිටින පුරවැසියාට වෙහෙසකාරී කටයුත්තක් වනවාට සැකයක් නැහැ. රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වන එවැනි නිලධාරීන්ට එරෙහිව තොරතුරු කොමිසම මගින්ම දඬුවම් ලබාදීමට ඇති හැකියාව 2003 මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධ නඩු තීන්දුවක් මගින් වළකන බවට වන අදහස මත එම ප‍්‍රතිපාදනය මෙම පනතට අතුලත් කීරීමට අපොහොසත් වුනා. මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධ එම තීන්දුව අනුව කොමිසමක් මගින් සෘජුවම නිලධාරියෙකුට එවැනි දඬුවමක් පැනවිය නොහැකි බවට වන නඩු තීන්දුව එයට හේතුව ලෙස ඉදිරිපත් වුනා.

විශේෂයෙන්ම පොදු මූල්‍ය කටයුතුවලට යම් ආකාරයකින් හෝ සම්බන්ධවන අන්තර්ජාලය සම්බන්ධ විවිධ යෙදුම් (Applications) මාර්ගයෙන් සිදුවන මූල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම මෙම යුගයේදී මුහුණදෙන ප‍්‍රධානතම අභියෝගයක්. ශ‍්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් ඩොලර් බිලියන 85 ක් හෙවත් 1-2% ක් පමණ සෑම වර්ෂයකදීම රටින් පිටට සංසරණය වන අතර මෙවැනි තොරතුරු රැස්කිරීම සඳහා මෙම පනත මගින් ප‍්‍රතිපාදන සලසා නැතත්, ඒ සඳහාද කිසියම් යාන්ත‍්‍රණයක් සැකසීමේ අවශ්‍යතාව මේ මගින් ධෛර්යමත් කරනවා.

මෙම පනත සම්මත වීමෙන් මාස හයක් ඇතුලත තොරතුරු කොමිසම පිහිටුවා සිය කටයුතු ආරම්භ කළයුතු වනවා. මේ සම්බන්ධයෙන් වන විවිධ ගැටළු මතුවීම සිදුවන්නේ ක‍්‍රියාත්මක අදියරේදී. බොහෝ තොරතුරුවල අවශ්‍යතාවය විශේෂයෙන්ම මූල්‍ය කටයුතු සමග බැඳී පවතින බැවින් තොරතුරු නිලධාරීන් පුහුණුකිරීමේදී ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකළයුතු වනවා.

ඉතිහාසය විශ්ලේෂණය කිරීමේදී ඉතා අභියෝගාත්මක කටයුත්තක් ව තිබූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත විවිධ අඩුපාඩු පැවතිය ද, බොහෝ සාධනීය ලක්ෂණ සහිතව සම්මත කරගැනීමට වත්මන් හවුල් පාලන ව්‍යුහයට දේශපාලන අධිෂ්ඨානයක් තිබීම අගයකළ යුතුයි. ඒ අනුව පොදු අධිකාරීන්වලට අදාළ තොරතුරු දැනගැනීම සඳහා පුරවැසියාට පූර්ණ අයිතිවාසිකම්, මෙම පනත සම්මත වීමෙන් පසුව ලැබීමට නියමිත අතර පුළුල් ආකාරයෙන් පුරවැසියා බලගැන්වීමේ ප‍්‍රවනතාවක් ද ඇතිවී තිබෙනවා. එහෙත් සමාජීය වශයෙන් මෙම පනතෙහි වැදගත්කම පිළිබඳ පුරවැසියා තුළ ඇති දැනුවත්භාවය ඉතා පහළ මට්ටමක පවතින නිසා ඉදිරියේදී පුරවැසියා දැනුවත් කිරීමේ විශාල කාර්යභාරය මීළඟට අප ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගය වනවාට කිසිඳු සැකයක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *