දණ නැමීම – දණ ගැස්සීම හා දණින් වැටීම

Panuma
Panuma

දණ නැමීම අපට හුරුපුරුදුයි. මව්පියන් ඉදිරියේ ගුරුවරුන් ඉදිරියේ දණ නැවීම ලාංකීය ජන සමාජයේ උසස් චර්යාවකි එය අනාදිමත් කාලයක සිට පැවත එන පුරුද්දකි. දණ ගැස්සීම අපට ඇසෙන්නේ කුඩා ළමයින් සම්බන්ධයෙනි එ් පාසලේ දී හෝ නිවසේදී දඟකාරකම් කළ විට ගුරුවරුන් වැඩිහිටියන්ගේ නියෝගය මත දණ ගස්සනු ලබයි මේ. දණ ගැසීම් දණ ගැස්සවීම් කලින් කලට දේශපාලන ලෝකයේද කතාබහට ලක්වෙයි. මීට කලකට ඉහත නවත්තේගම පාසලක ගුරුවරියක් පළා බබෙකු විසින් දණ ගැස්සවීම අවසන් වූයේ අදාළ පළා බබා උසාවිය ඉදිරියේ වැරදිකරුවකු බවට පත්වීමෙනි. නැවතත් ඌව පළාතෙන් දණ ගැස්සවීමක් පිළිබඳව දින කිහිපයකට පෙර සිට අසන්නට ලැබී ඇත. බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ඌව මහ ඇමැතිවරයා විසින් දණ ගැස්සවූ ප‍්‍රවෘත්තියකින් මාධ්‍ය මෙන්ම දේශපාලන සමාජ ලෝකයද ගිනි ගෙන ඇත.

පළාත් පාලන මැතිවරණ සමයක රත් වූ යකඩක් බඳු මාතෘකාවක් බවට ඉහත ප‍්‍රවෘත්තිය පත්වීම පුදුම සහගත නොවේ. මාධ්‍යවේදීන්ට මෙය අපූරු පුවතකි. දේශපාලන බූරු පිටියට මෙය තුරුම්පු ආසියෙකි. සමාජ විචාරකයන්ට විද්වතුන්ට තලූ මැරිය හැකි හැඩ වැඩ ඇති කඩගැස්මකි. පෙළ පාලි ඇති පිකටින් කරති. ගුරු සංගම්, දේශපාලන පක්ෂ, කාන්තා බලවේග ඉතා උද්වේගකර ලෙෂ සානුකම්පිත ලෙස මානව හිතවාදී ලෙස කටයුතු කරමින් සිටී. දෙමළ පාසලක දමිළ විදුහල්පතිනියක් වීමෙන් සිද්ධිය තවත් අර්ථාන්විත වී ඇත. ජාතික සංහිදියාව සම්බන්ධයෙන්ද මේ සිද්ධිය බාධාවක් වී ඇති බව පෙනේ. මතුපිටින් පෙනෙන උත්ථ කථිකාවේ පවතින ඛේදවාචකය සංවේගජනක බව කිසි ලෙසකත් ප‍්‍රතික්ෂේප නොකරමු.

දේශපාලනික වශයෙන් කරනු ලබන මෙවැනි නාටකවලින් කවදත් ලාංකීය සමාජය රස ගැන්වී ඇත. මෙයද එවැනි අවස්ථාවක් බව තේරුම් ගැනීමට සමාජයටද නුහුරු නැත. එසේ පවසන්නේ මෙවැනි සිදුවීම් හරහා සමාජය මත මුදාහරින ලබන ලොමුඬැහැගැනීම්, භීතීන්, හඬා වැලපීම්, සියල්ල අවසන්වීමට ගතවන කාලය ඉතා සොච්චමක් වන නිසාය. තවද ඉල්ලා අස්වීම්, අස්කිරීම්, එ් එ් තනතුරුවලින් පහ කිරීම් ද කෙටි කාලයකට සීමා වන බව නාටකය නරඹන්නෝ දනිති. ඌවේ මහ ඇමැතිට විරුද්ධව ගොඩනගා ඇති විරෝධයද නාටකයක් වීමේ හැකියාව වැඩිය. පළාත් පාලන මැතිවරණ සමයේ පෙන්නනු ලබන තවත් වීදි නාටකයක් බවට විදුහල්පතිතුමිය දණ ගැස්සවීමේ සිද්ධිය පත්විය හැක්කේ විරෝධතාවයන්ගේ ස්වභාවය ලෙස බැලූ විටය. එහෙත් ජන සමාජය මෙය නාටක ලෙස භාරගත යුතුද ? කොහෙත්ම නැත. මේ දේශපාලන ස්වභාවය මායාවෙන් තොරව වටහාගත යුතුය. සමාජ සුපිරි තලයේ නිෂ්පාදනය කරන නාටකවල නළු නිළියන්ගේ යටි ව්‍යුහයේ ගම්‍යාර්ථයන් එලෙසම නිරීක්ෂණය කිරීම සවිංඥානික ජන සමාජයට අත්පත් කර දීම අපගේ වගකීමයි.

උක්ත කාරණයට සම්බන්ධව විදුහල්පතිතුමිය දණගැස්සවීම හරහා මතුවෙන ලද ප‍්‍රවණතාවයේ ඇතුළාන්තය අව්‍යාජද, නිර්මලද, පිවිතුරුද යන්න ප‍්‍රශ්න කිරීම්වලින් තොරව තේරුම් ගැනීමට යෑම කොතරම් තාත්වික දැයි අප සිතිය යුතුය. සමාජය තුළ පවතින සංවේදීතාවය කොතරම් අව්‍යාජ දැයි ප‍්‍රකාශ කළ නොහැක්කේ මේ පළමු සහ අවසාන සිද්ධිය නොවන නිසාය. අපේ දේශපාලන සංස්කෘතිය තුළ ගස් බැදීම්, පහරදීම්, දණගැස්සවීම්, පන්නා දැමීම්, අතුරුදන් කිරීම් විරල නැත. එ්ත් එ්වා වෙනුවෙන් පෙනී සිටින විරෝධතා දැක්වීම් තුළ පැවති අරමුණු කොතරම් දුරට අව්‍යාජවේද යන්න ඉතිහාසය පිරීක්සීමෙන් පෙනී යනු ඇත. හුදෙක් එම සිදුවීම් සියලූ පාර්ශ්වයන් තම තම ව්‍යාපෘති වෙනුවෙන් භාවිතා කළා පමණකි. සත්‍ය ලෙස පාදර සංස්කෘතියට එරෙහි වූයේ නම් නැවත නැවතත් මෙවැන්නක් ඇති විය හැකිද? බොහෝ මාර්ක්ස්වාදී යැයි කියා ගන්නා පක්ෂවල උදවිය පවා සංසිද්ධි මත තම දේශපාලන ජනප‍්‍රියත්වයක් ගොඩනගා ගනිති. පෙරළා එ්වා ඡන්ද බවට පත් කර ගනිති. පෙරළා එ්වා ඡන්ද බවට පත් කර ගනිති. මේ සිද්ධියට අදාළව එක්තරා මාක්ස්වාදී පක්ෂයක් පිළිබඳ මගේ මිතුරකු ප‍්‍රකාශ කළේ මේ සිද්ධිය මුල්කර ගෙන ඔවුන්ගේ ඡුන්ද ප‍්‍රමාණය වැඩි වන බවයි. තවත් පැත්තකින් මේ දණ ගැස්සවීම අප සමාජය දණින් වැටීමේ ප‍්‍රතිඵලයක් ලෙස තේරුම් ගන්නා තුරු මෙවැනි සිදුවීම් නිමා නොවන බවද තේරුම් ගත යුතුයි. මෙවැනි නිර්ලජ්ජිත දේශපාලඥයන් නිර්මාණය කරන්නේද ජනතාවය තමන් මූණ දෙන ඕනෑම අපහසුතාවයකින් මිදීමට දේශපාලන බලවතුන්ගේ දෙපා මුල සැබවින් දණ ගසන මිනිසුන් සමාජය තුළ විරල නැත. ගුරුවරයකු මාරු කළ විට මාරුව අවලංගු කර ගැනීමට ස්වකැමැත්තෙන් දණින් වැටෙන ගුරුවරුන් කොතරම් සිටිත්ද, විදුහල්පති තනතුරු ලබාගැනීමට මහ ඇමැතිලාගේ දෙප තුළ දණින් වැටෙන ගුරුවරුන් කොතරම් සිටිද තමන් තවත් සහෝදර නිලධාරියකුගේ බෙල්ල කපා හෝ තම අභිප‍්‍රාය ඉටු කර ගැනීමට වෙර දරන නිලධාරීන් කොතරම් සිටිත්ද?

දණ ගැස්සවීමට පෙර දණින් වැටෙන නිවට නියාලූ සමාජයක් බවට අප ජීවත් වන සමාජය පත්වී ඇති බව තේරුම ගන්නට මෙවැනි සිදුවීමක් හෝ පාදක කර නොගෙන දේශපාලන වෙළෙඳපොළ තුළ මෙම සිද්ධිය වෙන්දේසි කරමින් සිටීම කොතරම් කනගාටුදායකද අපේ රටේ දේශපාලනයේ පවතින සැබෑ ඇත්තනම් අනෙකුත් සමාජ සංස්ථා අභිබවා ගොස් දේශපාලන සංස්ථාව බලය අත්පත් කර ගැනීමයි. උගත්කම්, ගුණවත්කම්, උසස්කම් දේශපාලන නොපනවත්කම් මගින් යටපත් කර ඇත. මෙවැනි සිදුවීම් අරඹයා කිඹුල් කඳුළු සැලීමෙන් සටකපට විරෝධතාවලින් මෙවැනි ක‍්‍රියාවලියක් නිමාවන්නේ නැත. අප තේරුම් ගත යුත්තේ දණ ගැසීම, දණ ගැස්සවීම, දණින් වැටීමෙන් ජීවත් මිනිසුන් බහුල සමාජයක බහුල වශයෙන් දැනගත හැකි බවයි. දණ ගැස්සන්නට නොදෙන සමාජ ක‍්‍රමයක් නිර්මාණය කරන තුරු මහ ඇමැතිලා, ඇමැතිලා, මන්ත‍්‍රීලා තවදුරටත් විදුහල්පතිවරු, ප‍්‍රාදේශීය ලේකම්වරු, දිස්ත‍්‍රික් ලේකම්වරු දණ ගස්සනවා නියතයි. අනිත් අතට මෙම මජර දේශපාලන සංස්කෘතියට හසු නොවූ දණින් වැටෙන්නන් සිටින තුරු මේ සමාජ ක‍්‍රමය වෙනස් කිරීමට දුෂ්කර වෙයි. දේශපාලන අරමුණු හොද හා ජනතාව පෙළගැස්වීමේ විරෝධතාවයන් වෙනුවට දණින් වැටුණු ජනතාවට නැගී සිටීමෙන් සංවිධානය කරනු ලබන අඛණ්ඩ අරගලයකින් පමණක් මෙහි ක‍්‍රියාවලිය අවසන් කළ හැකියි යන්න අපගේ විශ්වාසයයි. තවත් ප‍්‍රකාශ කළ යුතුම එහෙත් ජඩ දේශපාලනය විසින් පිළිනොගන්නා සත්‍යයක් ඇත. මේ සියලූ නොපනත්කම් ධනේෂ්වර නිර්මාණය බවය. මේ සමාජ ක‍්‍රමය වෙනස් නොකිරීමෙන් කිසිවක් නිමා කළ නොහැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *