දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ “නූගත් බව”

 

අඟහරුවාදා (සැප්තැම්බර් 05) අළුයම දඹුල්ල නගරයේ පෞද්ගලික වෑන් රථ ගාලේදී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු ඝාතනයට ලක්වීම ලාංකීය සමාජයේ අවධානයට ලක් වී තිබේ.

එම පුද්ගලයාගේ හිස පිට පැත්තේ පහර දීමකින් සිදු වූ තුවාල තිබුණු නමුත්, හිස් කබල පුපුරා නොතිබුණු බව මාතලේ දිස්ත්‍රික් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී බීඑල් වෛද්‍යරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

සිරුරේ කොටස් ලබා ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා, එම පරීක්ෂණ අවසන් වන තුරු මරණයට හේතුව කවරක්දැයි නිශ්චිතව කිව නොහැකි බවත් සඳහන් කළේය.

මරුමුවට පත් වූ 33 හැවිරිදි එම පුද්ගලයාගේ සිරුරේ වෙනත් තුවාල නොතිබුන අතර, ඔහුට වෙනත් ස්වභාවික රෝගයක් වැළඳී නොතිබුණ බව ද විශේෂඥ වෛද්‍ය බීඑල් වෛද්‍යරත්න පැවසීය.

 

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු ඝාතනය කෙරෙයි

ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී නොසිටි නමුත් මිය ගිය තැනැත්තා එච්අයිවී (HIV) ආසාදනය පිළිබඳව සංක්‍රාන්ති ලිංගිකයන් දැනුවත් කිරීම උදෙසා ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළ සංක්‍රාන්ති ලිංගිකයෙකු බව Young Out Here සංවිධානයේ භූමි හරේන්ද්‍රන් බීබීසී සිංහල සේවයට පැවසීය.

“ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන එච්අයිවී ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ Peer education system එක යටතේ ඇය සහචර නායිකාවක් (Peer Educator) හැටියටත් කටයුතු කරලා තියෙනව. ඒ කියන්නේ තමන්ගේ දැනුම මිතුරන් අතරේ බෙදා හැරීමක් තමයි ඒකෙන් සිද්ද වෙන්නේ,” භූමි හරේන්ද්‍රන් සඳහන් කළාය.

එම සංක්‍රාන්ති ලිංගිකයාගේ මරණය පිළිබඳව වාර්තා කරන බොහෝ ජනමාධ්‍යවල සිරස්තලය බවට පත් වී තිබුණේ දහවල් යාමයේ තරුණයෙකු ලෙසින් පෙනී සිටි මිය ගිය පුද්ගලයා රාත්‍රී කාලයේ කාන්තාවක් ලෙස සැරසී නගරයේ හැසිරෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන බවය.

සංක්‍රාන්ති ලිංගිකයන්ගේ සෞඛ්‍යය රැකගැනීම පිණිස ඔහු/ඇය ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළේ නම් සිය සැබෑ අනන්‍යතාව හෙළි කිරීමට පැකිලුනේ ඇයි?

“ඇත්තටම ඔය ප්‍රශ්නෙදී මිනිස්සු බලන කෝණය හරිම පටුයි,” බව පවසන සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනී භූමි හරේන්ද්‍රන්, “අපි තේරුම් ගන්න ඕන ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක් හැටියට මේ සමාජය තුළ ජීවත්වීම කොයිතරම් කටුකද කියන එක,” යනුවෙන් ද සඳහන් කළාය.

එවැනිම අදහසක් පළකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය මයුර සමරකෝන්, සංක්‍රාන්ති ලිංගික සමාජභාවය පිළිබඳව මෑතක් වනතුරුම තමන්ට පවා නිසි අවබෝධයක් නොතිබු බව බීබීසී සිංහල සේවයට පැවසීය.

“උදාහරණයක් විදියට මෑතදී අපේ පාඨමාලාවකට තරුණයෙක් එනවා. ඒ තරුණයා අධ්‍යාපන සහතික ඉල්ලුවට පස්සේ ඉදිරිපත් කරන්නේ කාන්තා පාසලකට ගියපු අධ්‍යාපන සහතික. එතැනදී අපි බලවත් වික්ෂිප්තභාවයට පත්වුනා,” මහාචාර්ය මයුර සමරකෝන් පැවසීය.

“එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව අපිට අවබෝධයක් තිබුණේ නෑ. අපි පසුව ඒක නිරවුල් කරගත්ත.”

ජනමාධ්‍යවල වගකීම

“කාන්තා ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙකු” මරා දමා ඇති බව පවසමින් සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කර තිබු ආකාරය සම්බන්ධයෙන් ද මහාචාර්යවරයා අදහස් පළ කළේය.

“අද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ගවේෂණාත්මක මාධ්‍යයක් නෙවෙයි, ජනප්‍රිය මාධ්‍යයක්. එතකොට යම් ආකාරයකට මේ තුළ තිබෙනවා අපගේ තිබෙන්නා වූ නොදියුණු නූගත් බවක්.”

සිය “නොදියුණු, නූගත් බව” ප්‍රදර්ශනය කරනු හැර සංක්‍රාන්ති සමාජභාවය හා බැඳුනු බරපතල ගැටලුව සහ සංක්‍රාන්ති ලිංගිකයන් මුහුණ දෙන යථාර්ථය පිළිබඳව සමාජය දැනුවත් කිරීමට මාධ්‍ය උත්සාහ දරන හැඩක් දකින්නට නොලැබෙන බව ද මහාචාර්ය මයුර සමරකෝන් වැඩිදුරටත් සඳහන් කළේය.

“සමාජය දැනුවත් වෙන්නේ කොහොමද මේ මාධ්‍යයේ තිබෙන නූගත් මාධ්‍ය සාක්ෂරතාවත් එක්ක? ඒ දැනුවත්භාවය අපෙන් ඈත්වෙමින් පවතිනවා.”

මේ අතර බොහෝ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් ලිංගික වෘත්තියේ නිරත වන්නේය යන්න ද රහසක් නොවන බව සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනී භූමි හරේන්ද්‍රන්පෙන්වා දෙයි.

“මොකද ඔවුන්ව කුඩා කාලෙදිම නිවෙස්වලින් එලවනවා. නැත්නම් රස්සාවල් දෙන්නේ නෑ. ඉතින් ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න මත සමාජය විසින්ම ඔවුන් එතෙන්ට තල්ලු කරලා පස්සේ අහනවා, ඇයි ලිංගික වෘත්තියේ යෙදෙන්නේ කියලා. ඉතින් මේක හරිම පහත් තත්ත්වයක් හැටියට මම දකින්නේ.”

සංක්‍රාන්ති ලිංගිකයන් බොහෝ දෙනා ඒ තත්ත්වයට පත්කරනු ලබන්නේත් සමාජය විසින්ම බව ද පෙන්වා දෙන භූමි හරේන්ද්‍රන්, සමලිංගිකයන්ට සහ සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ ඇති ආකල්පමය පහරදීම් මෙන්ම ඔවුන්ට එරෙහි හිංසනය ද නැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *