නව ලිබරල්වාදයේ හිතවතුන් කුපිත වී ඇති සෙයකි

Professor-Sumanasiri-415x260සුමනසිරි ලියනගේ – ආර්ථික ප්‍රජාතන්ත්‍රකරණය සදහා මා ලියු සටහන මගින් නවලිබරල්වාදී ව්‍යාපෘතියට එරෙහි වාම වැඩ පිළිවෙලක් මේ වනවිට අපට ඇති බවත් එහි කටු සටහන සාකච්ඡා කිරීමට මා කළ ආරාධනයත් සමග නව ලිබරල්වාදයේ හිතවතුන් කුපිත වී ඇති බවක් පෙනේ. එය හොද ලක්ෂණයකි. මෙතෙක් කල් “වෙනත් විකල්පයක් නැත” යන මාගරට් තැචර් ගේ කියමන තුළ හිරව නවලිබරල්වාදය රට වර්ධනය කරා ගනයනු ඇති සිතා සිටි පිරිස් කිසියම් ආකාරයකින් සෙලවීම යහපත් ප්‍රවණතාවයකි. මා මේ සටහන ලියන්නේ එම අදහස් පිළිබද මගේ සවේදී වීම සටහන් කිරීමට නොවේ. මා ගමන් කරන්නේ වෙනත් පිල්ලක ය. මට පිලි මාරු කිරීමට වුවමනාවක් නැත.

මෙම සටහන දෙබරයට තවත් ගල් ගැසීමක් විය හැක්කේ ආර්ථික කටු සටහනේ එක පැතිකඩක් මා මෙම සටහනෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරන නිසා ය. එම කරුණ ඉදිරිපත් කිරීමට පෙර සදහන් කල යුතු එක දෙයක් වන්නේ නවලිබරල්වාදී ව්‍යාපෘතියට එරෙහි වාම වැඩ පිළිවෙල “සංවර්ධනය” පිළිබද ආධිපත්‍ය (හෙජමොනික කීවාට කමක් නැත, එහෙත් මට එම වචනය හුරු නැත) මතය විසංයෝජනය කිරීමෙනි.
නවලිබරල්වාදී ව්‍යාපෘතියට එරෙහි වාම වැඩ පිළිවෙල ආරම්භක අදියරේදී ආර්ථික ජාතිවාදය සමග සමපාත වන්නේ ය.

ආර්ථික ප්‍රජාතන්ත්‍රකරණය පිළිබද සාමුහිකය මෙහෙයවූ සම්මන්ත්‍රණයේදී අහිලන් කදිර්ගාමර් සදහන් කලේ වර්තමාන අර්බුදය ප්‍රකාශනය වී ඇත්තේ ගෙවුම් ශේෂ අර්බුදයක් සහ ණය අර්බුදයක් ලෙස බව ය. මෙම ප්‍රශ්ණයට නවලිබරල් උත්තරය තව තවත් ණය ගැන්මත් තව තවත් වෙළදාම සහ ප්‍රාග්ධන ගනුදෙනු ලිහිල් කිරීමත් ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙනම මේ ආණ්ඩුව ද ක්‍රියා කරනේ එසේම ය. එම තොරතුරු අහිලන් විස්තරාත්මකව පෙන්වා දුන් හෙයින් ඒ සම්බන්ධව මා වැඩිදුර ලිවිම අවශ්‍ය නැත. නවලිබරල්වාදී ව්‍යාපෘතියට එරෙහි වාම වැඩ පිළිවෙල නවලිබරල් උත්තරය කණපිට හැරවීමට යෝජනා කරයි. එසේ කරමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම පලවෙනි පියවරක් ලෙස කල යුතු බව එය යෝජනා කරයි.

ලෝක වෙළද පොලේ තෙල් මිල බෙහෙවින් පහත වැටී ඇති අවධියක එවන් ජාතිකවාදී ආර්ථික ව්‍යාපෘතියක් ගොඩ නැගීමට ඇති ප්‍රායෝගික විභවය ඉමහත් ය. එය අනිවාර්යයෙන් නිෂ්පාදනයට යොමු වුන ආර්ථිකයක් වන්නේ ය.

මෙයට මාස කිහිපයකට පෙර මෙරට විශ්ව විද්‍යාලවලට සම්බන්ධ විද්වත්හු පිරිසක් මෙයට සමාන අදහසක් මත පදනම්ව ආර්ථිකය හැසිරවීම පිළිබද ජනාධිපතිවරයාට සන්දේශයක් මගින් යෝජනා කලේ ය. එම ආර්ථික ජාතිවාදය වෙනුවෙන් සැකසුන ලියවිල්ලට මම අත්සන් තැබීමි. එය හොද පදනමක් සකස් කල ද ජනාධිපතිවරයා එය පයගැලි නියපොත්තෙන් ඉහලට නොගත් බවක් පෙනේ. මක්නිසා ද? එවැන්නක් නවලිබරල් ව්‍යාපෘතිය සමග නොගැලපෙන පරස්පරයක් වන නිසා ය.

නවලිබරල්වාදී ව්‍යාපෘතියට එරෙහි වාම වැඩ පිළිවෙලක ඇති වාම කෙන්සියානු නැඹුරුව මා තවත් සටහනකින් සාකච්ඡා කරන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *