හැට දෙලක්ෂයේ මතවාදය සහ හොරු සුජාතකරණය

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රකින්න විහාරමහාදේවියට ආ අයට, ඔබ තුමන්ලා/තුමියලා බොහෝ දෙනෙක් අද දවස විවේකයෙන් ගත කරනු ඇතැයි සිතා ලිපියක් ලිවීමට සිතුවෙමි. ‘හැට දෙලක්ෂයටම’ එක ලිපියක් ලිවීමට සුදුසුදැයි ගැටළුවක් මටම මතුවුනේ පැමිණි පිරිස දෙස සුපරික්ෂාකාරීව බලන විටය. එතැන සිටි පිරිසෙන් බැලු බැල්මට මේ කාණ්ඩයන් හදුනාගත් හැකිවිය.

1. ‘යහපාලනය’ දේශපාලන අභිලාශයකින් තොරව ‘යථාර්තයක්’ බවට පත්කර ගතයුතුයැයි අවංකවම සිතන අය
2. ‘යහපාලන ආණ්ඩුව’ ගේන්නට මහන්සිවූ, ගෙනාවේ මොන කුණුකබල් ආණ්ඩුවක්දයි වික්ෂිපත්වී සිටින, එහෙත් ඒ වගක් කියන්නට ලැජ්ජා නිසා කෙසේ හෝ යහපාලනය වචනයේම එල්ලී සිටින අය
3. යහපාලනය යනු කුමක්දැයි හරිහැටි තේරුමක් නැතත් ‘රාජපක්ෂවරුන්ට කෙලවීම’ වැනි දේශපාලන උපක්‍රම වලට එය තියුණු ආයුධයක් බවදන්නා අලුත් ආණ්ඩුවේ පිරිස
4. ඉහත සියලුදෙනාම රවටා, පුද්ගලික දේශපාලන වාසි ලබාගනිමින්, හොරකම් කිරීම් සහ මංකොල්ලකෑම් වසා ගැනීමට පසුගිය ආණ්ඩුවට ඇගිල්ල දිගුකරන කට්ට කෛරාටික දේශපාලකයන් කණ්ඩායම.
5. මේ මුකුත්ම අදාල නැති, මේ ඉවෙන්ට්ස් වල පොටෝස් රිපොට්ස්වල අලවා යවා තමුන්ගේ NGO එකට කීයක් හරි හොයාගෙන, පිටරට කොන්ෆරන්ස් එකකට දෙකකට ගොස් සතුටින් ජීවත්වෙන පිරිස.

ඔබතුමාලාගේ මේ විවිධත්වය තුල එක සමානාත්මතාවයක්ද තිබුණි. ඒ වසර දෙකකට පසු ‘හැට දෙලක්ෂයක’ ජනතාවක් මතක් වීමයි. ඒ සදහා බලපෑ මුලිකම හේතුව විය හැක්කේ, ඒකාබද්ධ විපක්ෂය සහ අනෙකුත් කණ්ඩායම් විසින් වසර දෙකහමාරක් තිස්සේ ‘පනස් අටලක්ෂයක්’ ජනතාව සමග කරමින් ආ දේශපාලන සංවාදය දැන් දැන් ‘හැට දෙලක්ෂයටද’ කාන්දු වෙමින් පැවතීමයි. බැලු බැල්මටම, ආණ්ඩු විරොධී දේශපාලන සටහන්, ලියමන්, සමාජජාලා පෝස්ට්ස් සහ විහිලු තහළු නිර්මාණය වෙමින් සහ බෙදාහදා ගනිමින් සිටින්නේ ජනවාරි 08ට කලින් ‘යහපාලනය’ ගෙනෙන්නට ස්වේච්චාවෙන්ම මහන්සිවූ තරුණ පිරිස්මය. ආණ්ඩුවේ අත්තනෝමතික සහ මුග්ධ ක්‍රියාකලාපය නිසා මුල්කාලයේ ‘දේශපාලන වික්ෂිප්ත’ භාවයකට (රාජපක්ෂලාට වඩා හොදයිනේ) පත්විසිටි මේ පිරිස දැන් ‘දේශපාලන පසක්කරගැනීමකට’ (අපේ අවංක දේශපාලන අභිලාෂයන් වංචනිකව අපහරණය කලාද?) ලංවෙමින් සිටී. ඒ අනුව බලන විට 2020 UNP ආණ්ඩුව හැදීමට අවශ්‍ය Advertising Campaign එක පටන්ගත්ත තැන Strategically හරියටම හරිය.

අනෙක් අතට ඔබතුමාලා හැට දෙලක්ෂයට පමණක් එන්නැයි කියන්නේ, ඉතුරු ටිකට මෙවැනි පණිවිඩයක් දීමටය. ‘ඔයාල හොරු. ඔයාලට අයිතියක් නෑ අලුත් හොරුන්ට පාඩම් කියල දෙන්න. මේ 62න් අපිට ඊළග ආණ්ඩුව හදන්න වුනත් පුළුවන්’ ඒ වගේම 62 ඇතුලේ සිටින පිරිසට මෙන්න මෙහෙමත් කියනවා. ‘අර ගොඩට සෙට් වෙන්න එපා මොකද ඒ ගොල්ලෝ පරණ හොරු රකින හොරු. අපි ගෙනත් තියෙන්නෙත් හොරු වුනාට අපි හොදයි. මේ හොරු කියල හදාගන්න පුළුවන් හොරු සෙට් එකක්’. සමුපකාර මට්ටමින් පවා ගිලිහෙමින් තිබෙන ආණ්ඩුව රැකගනිමටනම් හටදෙලක්ෂයට මෙවැනි guilty feeling එකක් දීමත්, කවදා හෝ දවසක අපි බලයට ගෙනා අය අපි කියන දේ අහනු ඇත (සමහරවිට 2020 චන්දෙන් පසු) යන්නත් නිතරම ජපකළ යුතු මන්ත්‍රයකි.

හැට දෙලක්ෂෙන් ගෙනා ජනාධිපති කෙනෙක්, අගමැතිකෙනෙක්, සභානායක කෙනෙක්, කතානායක කෙනෙක් විතරක් නෙමෙයි විපක්ෂනායක කෙනෙකුත් ඉන්න රටක, ඔබතුමාලා විහාරමහාදේවි පාක් එකේ කරන්නේ මොකක්දැයි මට ලොකුවට වැටහෙන්නේ නැත. සමහරවිට ඔබතුමාලාට 2020 සහ 2024 චන්ද වැනි ලොකු විෂන් එකක් ඇතිනිසාත්, අපි හොරු නිසාත්, අපිට මේවා ‘අදාළ නෑනේ’ වෙන්නට පුළුවන.

නරකද හැට දෙලක්ෂයේ බලය පෙන්නන්නත් එක්ක ‘කොරන්න බැරිනම් ගෙදර පලයව්’ වගේ රැස්වීමක් ගෝල්ෆේස් එකේ සංවිධානය කලොත්?

– මිලින්ද රාජපක්ෂ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *