බදු බර කාටද?

දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද හඬ නඟන බවත් පෙනෙන්නට තිබේ. පනත ගැන විශාල ලෙස කලබල වූයේ මහින්ද රාජපක්ෂ මහතා ය. ඒ මහතාට තිබෙන විශාලම ප්‍රශ්නය බදු සහන දීමට රජයට තිබෙන අවස්ථා සීමාකොට තිබීමයි. ඒ අතර පුරුදු පරිදි ‍බොරු ප්‍රචාර කරමින් විපක්ෂය කියන්නේ මෙයින් ජනතාව මත විශාල අමතර බරක් පටවන බවයි. අර්ථසාධකය මත බදු පටවන බවද ඔවුහු කීහ. ආණ්ඩුව කීවේ ඒවා සම්පූර්ණ බොරු බවයි. එසේ වුවද විපක්ෂය කරන්නේ ඒ කතා නැවත නැවත කියමින් ඇත්ත කරන්නට හැදීමයි.

මෙම පනත ඉදිරිපත් කොට තිබෙන්නේ රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට බවට සැකයක් නැත. එය කරන්නට යන්නේ තව තවත් බදු ගැසීමෙන් නොව බදු ක්‍රමය විධිමත් කිරීමෙනි. බදු දැලෙන් පැන යන තෝරු මෝරු කොටුකර ගැනීමෙනි. බදු ගත යුතු අංශවලින් අයකර ගැනීමෙනි.

ඒ අතරම මෙම පනතේ ප්‍රධාන අරමුණක් වී තිබෙන්නේ සාමාන්‍ය ජනයා මත වක්‍රව පැටවෙන බදු බර අඩු කිරීමයි. එනම් සීනි, පරිප්පු, කිරිපිටි ආදී පාරිභෝගික භාණ්ඩවලින් අය කරන බදු ප්‍රමාණය අඩු කරගෙන ඍජු බදු වැඩි කර ගැනීමයි. එනම් වැඩි ආදායම් ලබන ජනයාගෙන් අය කරණ ආදායම් බදු වැඩිකර ගැනීමයි. මේ වනවිට රටේ බදුවලින් සියයට අසූවක් ලැබෙන්නේ වක්‍ර බදුවලිනි. ඍජු බදුවලින් අයවන ප්‍රමාණය සියයට විස්සකි. රජයේ අරමුණ වී තිබෙන්නේ මෙම අනුපාතය සියයට හැටට හතළිහ මට්ටමට ගෙන ඒමයි.

වක්‍ර බදුවල තිබෙන අසාධාරණය වන්නේ කෝටිපති ධනපතියා මෙන්ම දිළිඳු ජනයාද එක හා සමාන බද්දක් ගෙවීමය. සීනි කිලෝ එකකට කෝටිපතියා ගෙවන්නේත් දිළිඳු ජනයා ගෙවන්නේත් රුපියල් දහයක පහළොවක එකම බද්දකි. රජය එම ක්‍රමයෙන් රජයේ ආදායමෙන් සියයට අසූවක් ලබාගන්නා විට වැඩි බර පැටවෙන්නේ සාමාන්‍ය ජනයා මතයි. ආණ්ඩුව කරන්නට හදන්නේ එම බර අඩුකරමින් වැඩි ආදායම් ලාභීන්ගෙන් බදු අයකර ගැනීමයි.

අප රටේ තිබෙන ආකල්පය නම් රජය ජනතාවගෙන් බදු අයකිරීම විශාල අපරාධයක් බවයි. ඒ නිසා හැමදෙනාම හදන්නේ බදු නොගෙවා සිටීමටය. බොහෝ වෘත්තීයවේදීහු මෙහිදී පෙරමුණේම සිටිති. වෛද්‍යවරුන්, නීතීඥයන් හා වෙනත් වෘත්තිකයන් අතරින් බදු ගෙවන්නේ ඉතාම සුළු පිරිසකි. කොළඹ පෞද්ගලික රෝහල් කළමනාකරුවන්ට තිබෙන එක ගැටලුවක් නම් මුදලින් කරන ගෙවීම් එකතුකර ගැනීමයි. ක්‍රෙඩිට් කාඩ්, චෙක්පත් මඟින් කරන ගෙවීම් යන්නේ බැංකුවටය. ඒ අතර මුදලින් ලක්ෂ, දශලක්ෂ ගණනක් දිනපතා අවශ්‍ය වන්නේ වෛද්‍යවරුන්ගේ ගාස්තු ගෙවන්නටය. එම ගාස්තු මුදලින්ම ගෙවිය යුතුය. ඒ අවශ්‍ය වන්නේ කුමකටද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

බදු පැහැර හැරීම

උපකාරක පංතිකරන ගුරුවරුන් කොපමණ මුදල් උපයන්නේද යන්න බො‍හෝ දෙනා දන්නා කාරණයකි. මෙම පිරිස අතරින් ආදායම් බදු ගෙවන්නේ කීයෙන් කී දෙනාද? යන්න ප්‍රශ්නයකි. ඒ ගෙවන්නේ ද සොච්චම් මුදලක් විය හැකිය. නීතීඥ වෘත්තියේද තත්ත්වය ඒකය. මේ ගත්තේ උදාහරණ කිහිපයක් පමණකි. රටේම තිබෙන්නේ මෙබඳු සංස්කෘතියකි.

බදු දැලට කොටුවී සිටින සමාගම් පවා ගිණුම් දෙකක් පවත්වාගන්නා බව කියති. එකක් ව්‍යාපාරයේ ඇත්ත තත්ත්වය පෙන්වන්නටය. අනෙක් ගිණුම හදන්නේ බදු ගෙවීම පැහැර හරින්නටය. එය වරදක් ලෙස ඔවුහු නොසිතති. දැන් එය පිළිගත් සංස්කෘතියක් බවට පත්ව තිබේ.

ඒ අතර අපේ ජනයා රජයෙන් බලාපොරොත්තු වන දේ බොහොමයකි . සමාජයට අවශ්‍ය සෞඛ්‍ය හා අධ්‍යාපන වැනි සේවා පවත්වාගෙන යාමට අවශ්‍යය. එමෙන්ම ඇතැම් අනවශ්‍ය ව්‍යාපාරද රජය මඟින් පවත්වාගෙන යනු ලබයි. ඇතැම් ව්‍යාපාර පවත්වාගෙන යන්නේ පාඩු පිටය. ඒත් ඒවා විකුණා දමනවාට කැමැති නැත. එලෙස පාඩු ලබමින් කාබාසිනියා කරන්නේ මහජනයාගේ බදු මුදල් බව ඒ කාටවත් වැටහෙන්නේ නැත . පසුගිය දිනවල ජල ගැලීම් සිදුවිය. එහිදී පීඩාවට පත්වූ වැඩි දෙනා ජල රක්ෂිත වල අනවසරයෙන් පදිංචි වී සිටි උදවියයි. එසේ වුවද රජය ඔවුන්ට වන්දි ගෙවීමට ඉදිරිපත් විය. ඒ එසේ කළ යුතු බවට රටේ පිළිගැනීමක් පැවතීම නිසාය. රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන පරිසරයටද හානි කළ පිරිසට මහජන බදු මුදල් යෙදවීම ගැන ප්‍රශ්න කිරීමක් නැත.

අසාධාරණ ඉල්ලීම්

නියඟයෙන් විපතට පත් වූවන්ටද සහනාධාර ගෙවීමට රජය කටයුතු කොට ඇත. ඒ අතර ඇතැම් පිරිස් කියන්නේ රජය මොවුන්ට වන්දි ගෙවිය යුතු බවයි. එසේ කියන්නේ නම් ඒ මුදල් ද යන්නේ සාමාන්‍ය ජනයාගේම සාක්කුවෙනි.

ආණ්ඩුවෙන්ම විශ්වවිද්‍යාල ඉදිකොට රටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහිකිරීමට කටයුතු කළයුතු බවට මහා ඝෝෂාවක් ඇත. මේ කියන්නේ එයට මහජනයාගේ බදු මුදල් යෙදිය යුතු බවයි. චම්පික රණවක ඇමැතිවරයා කීවේ මෙහෙම ඉල්ලීමක් වෙනත් රටක කළේ නම් අනුන්ගේ ළමයින්ට උගන්වන්නට මගේ බදු මුදල් යොදන්නේ කුමකටදැයි ප්‍රශ්න කරන්නට ඉඩ තිබුණු බවයි. අනෙක් අතට මේ ඉල්ලීම කරන ඇතැම් වෛද්‍යවරුන් තමන්ගෙන් රජයට ගෙවිය යුතු නියමිත බදු මුදල් ගෙවන්නේද යන්නද සැක සහිතය. එහිදී තම යුතුකම ගැන හැඟීමක් ඔවුනට නැත.

හැට ලක්ෂයක් පමණ වාහන පාරේ දුවන මේ රටේ ආදායම් බදු ගෙවීමට ලිපිගොනු ඇත්තේ දශ ලක්ෂයකට පමණක් බව වාර්තා වී ඇත. එම සංඛ්‍යා ලේඛනයෙන් ද පෙනෙන්නේ රටේ ඉහළ ආදායම් ලබන ජනයාගෙන් බහුතරය බදු නොගෙවන බවයි.

පසුගිය කාලයේ සිටි පාලකයන් කළේ මෙලෙස බදු දැලෙන් පනින ‍තෝරුන්ට – මෝරුන්ට පනින්නට හැර ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාරවලට සහ භාණ්වලට බදු පැනවීමයි. එවිට බදු ගෙවන්නන් ඇඟට පතට නොදැනීය. පරිප්පු ටික, සීනි ටික, කිරිපිටි ටික ගන්නවිට බද්ද ගෙවා හමාරය. ඒ වැඩේ ආණ්ඩුවට ලේසිය . බර පැටවෙන්නේ දුප්පත් ජනතාවටය. ඒ නිසා වැඩේ වැරදිය. දැන් ආණ්ඩුව කරන්න හදන්නේ ඒ වැරැද්ද නිවැරැදි කරන්නටය. එනම් බදු ගෙවීමේ හැකියාව ඇති පිරිස කොටු කර ගැනීමය.

දියුණු රටවල සැලකෙන්නේ බදු ගෙවීම සමාජ යුතුකමක් වශයෙකි. මැතිවරණ තරග කරනවිට අහන්නේ බදු ගෙවා තිබෙනවාද කියලාය. ඒ අහන්නේ තම සමාජ වගකීම් ඉටුකළාද යන්නයි. තමන්ට ආහාරය නිපදවන ‍ගොවියාට එයට ට්‍රැක්ටරය හැදූ කම්කරුවන්ට වානේ පතලේ කම්කරුවාට, ටයර් නිෂ්පාදනය කළ අයට, රබර් කිරි කැපූ අයට, මාළු ඇල්ලූ ධීවරයාට ආදී තමන්ගේ ආහාරය සැපයූ සැමට තම යුතුකම ඉටුකළාද යන්න එම ප්‍රශ්නයයි. අපේ රටේ ධනපතියන් හා මැද පංතිකයන් වැඩි දෙනෙකු මෙම ප්‍රශ්නය තමන්ගෙන්ම අසා ගත්තොත් උත්තරය ලැබෙන්නේ නැත යන්න බව පැහැදිලිය . එහෙත් ඒ කිසිව කුට ඒ ගැන පසුතැවිල්ලක්, හිත්වේදනාවක්, කලකිරීමක් නැත. මෙම යුතුකම් ගැන හැඟී මක් නැති වූ විට සිදුවන්නේ එයයි .

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් කියන්න හදන්නේ ශ්‍රී ලංකාව මහා බදු බරක් තිබෙන රටක් බවයි. එසේ වුවද ඇත්ත තත්ත්වය නම් ශ්‍රී ලංකාව යනු ජනතාව අඩුවෙන්ම බදු ගෙවන රටක් බවයි.  ශ්‍රී ලංකාවේ බදු අනුපාතය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 11.6 කි. ඉන්දියාවේ එය සියයට 17.7 කි. පාකිස්ථානයේ 16.8කි. ඉහළ සමාජ සුබසාධනයක් ඇති රටවල මෙම අගය ඉතා ඉහළ බව පෙනී යයි. ලෝකයේ සතුටින්ම සිටින ජනතාව බව කියන ඩෙන්මාර්ක් ජනතාව ගෙවන බදු ප්‍රමාණය සියයට 50.8 කි. ස්වීඩනය 45.8, ප්‍රංශය 47.9කි. ඉතාලිය 43.5 කි. නෙදර්ලන්තය 39.8කි. පින්ලන්තය 43.6කි. ජර්මනිය 40.6 කි. සමාජවාදී රටවල් බව කියන කියුබාවේ 44.8 ක් වන අතර චීනයේ 28.1කි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනයා ගෙවන 11.6 ක බද්ද සොච්චමකි. ආණ්ඩුවේ ඉලක්කය මෙය සියයට 15ක් කරගන්නටය.

ආණ්ඩුව බදු ආදායම වැඩි කර නොගන්නේ නම් සංවර්ධනයට හා සුබසාධනයට මුදල් සෙවීමට ඇති අනෙක් මාර්ග වන්නේ ණය ගැනීම, මුදල් අච්චු ගැසීම හා රජයේ ආයතන විකිණීමයි. රජයේ ආයතන ෙනාවිකුණා හවුල් ව්‍යාපාර බවට පත්කරගැනීම රජයේ එක් උපාය මාර්ගයකි. ණය ගැනීමට මෙන්ම මුදල් නෝට්ටු මුද්‍රණය ද මුදල් සෙවීමේ යහපත් මාර්ග ලෙස සැලකෙන්නේ නැත .

රාජපක්ෂ පාලනය කළේ සීමාවක් නැතිව ණය ගනිමින් රට ණය උගුලකට හිර කිරීමයි. ගත් ණයත් පොලියත් ගෙවන්නට දැන් තවත් ණය ගැනීමට සිදු ව තිබේ. කෙසේ ‍වෙතත් එම ණය උගුලෙන් රට ගොඩගන්නා මාර්ගද ආණ්ඩුව දැන් සකස් කොට අවසන්ය. කෙසේ වෙතත් ණය ගැනීම යනු අනාගතයෙන් මුදල් ලබාගැනීමක් ලෙස සැලකෙයි. ඒ කියන්නේ අනාගත පරපුරට අයිති මුදල් අද වියදම් කිරීමකි. එය සාධාරණ වන්නේ එයින් අනාගත පරපුරට යමක් ගොඩ නගන තරමටය. එදිනෙදා වියදම් පියවා ගැනීමට හෝ සුබසාධන සඳහා ණය ගැනීම අපරාධයකි.

සාධාරණ ක්‍රමවේදයක්

රජයේ වියදම් පියවීමට බොහෝවිට මෙරට ආණ්ඩු කරන දෙයක් නම් මුදල් නෝට්ටු මුද්‍රණය‍යි. එසේ වුවද එය රටේ නිෂ්පාදනයේ වර්ධනයට සමානුපාතිකව සිදු විය යුත්තකි. වැඩියෙන් නෝට්ටු මුද්‍රණයෙන් සිදුවන්නේ රටේ උද්ධමනය වැඩිවීමයි. බඩු මිල ඉහළ යාමයි. එය ද රජයේ වියදම් පියවා ගැනීමට සුදුසු ක්‍රමයක් ‍නොවන්නේ එහෙයිනි.

බදු එකතු කිරීම ඉහතකී ක්‍රමවලට වඩා සාධාරණ ක්‍රියාවලියකි. එසේ වුවද එය මහජනයාට පෙනෙන ක්‍රියාවලියකි. ඍජු බදු මහජනයාට දැනෙන්නේ ඒ නිසාය. ආණ්ඩුව මෙම සාධාරණ ක්‍රමවේදය අනුගමනය කරන්නට යන විට ඇතැම් පිරිස්වලින් විරෝධතා එල්ල වන්නේ ඒ නිසාය. ඒකාබද්ධ විපක්ෂයේ උදවියට දැන් බරපතල ප්‍රශ්නයක් වී ඇත්තේ මැද පංතියට දී තිබෙන ඇතැම් බදු සහන අහෝසි කිරීමයි. ඔවුන් ආණ්ඩු කළ විදිහට සීනි කිරිපිටි වලට බදු ගැහුවානම් මෙහෙම දැනෙන්නේ නැත. ඔවුන්ගේ කාලයේ කළේ සාමාන්‍ය ජනයාගේ සාක්කුවෙන් මුදල් සොරා ගැනීමයි. දැන් කරන්නට යන්නේ සාමාන්‍ය ජනයාගේ බදු බර අඩුකරමින් ධනපතියන්ගෙන් හා මැද පංතියෙන් බදු ගැනීමයි. ඒකාබද්ධයට විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ එයයි.

තමන් මෙරට දුප්පත් ජනයා නියෝජනය කරන බව කියමින් සිටි විපක්ෂයේ උදවියගේ නිරුවත හෙළි වන්නේ මොවුන් දැන් එම ජනයාට සහන සැලසෙන ක්‍රමවේදයකට එරෙහි වෙමින් ධනපතියන්ට සහනදීමට පෙරට පැමිණ සිටීම නිසාය. මෙය සැබැවින්ම දුප්පතුන්ට එරෙහි වීමකි. ධනපතියන් වෙනුවෙන් පෙනී සිටීමකි. මහජනයා මොවුන්ගේ මෙම නිරුවත් රංගනය තේරුම් ගන්නවා නොඅනුමානය.

සී.ජේ.අමරතුංග

මුලාශ්‍රය – යුක්තිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *