බන්ධනාගර රෝහල හොර ගුහාවක්

පාර්ලිමේන්තුවෙන් ඇසුන කතා

parlim

2017 වර්ෂය සඳහා වන රජයේ වියදම් සහ ආදායම් ඇතුළත්  අයවැය යෝජනාවලිය සම්මත කරගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලියේ අවසන් අදිරයට කෙමෙන් ළඟා වී තිබේ. අයවැය කාරකසභා අවස්ථාව අද (09දා) සහ හෙට (10දා) දිනයන් හිදී පැවැත්වෙන අතර, හෙට පස්වරුවේ අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

ඡන්ද විමසීමට ප්‍රථමව මුදල් අමාත්‍යවරයා විසින් අයවැය පිළිතුරු කතාව පැවැත්වීමට නියමිත අතර, ඇතැම්විට අයවැය සංශෝධන කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් වනු ඇතැයි දැනටමත් ඉඟි පළ වී තිබේ.

එමෙන්ම අයවැය තෙවෙනිවර ඡන්ද විමසීමට ප්‍රථම තවත් සුවිශේෂී දෑ පාර්ලිමේන්තුවේ සිදුවනු ඇති බවට කනින් කොනින් ඉගි පළවන නිසාම විමසිලිමත්ව බලා සිටීමට සිදුව තිබේ.

අයවැය කාරකසභා අවස්ථාව මෙම සතිය පුරාම ක්‍රියාත්මක වූ අතර, අමාත්‍යාංශ කිහිපයකම වැය ශීර්ෂ මෙම සතිය තුළද විවාදයට ගන්නා ලදී.

ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය වැය ශීර්ෂයන් මෙම සතිය තුළ විවාදයට ගන්නා ලදී.

පොලිස්පතිවරයාගේ දුරකථන ඇමතුම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ අවසන් දින කිහිපය උණුසුම් කිරීමට පදනම් වූ කරුණක් වූ අතර, මේ සතියේද ආරම්භයේදී  පාර්ලිමේන්තුවේ එය වැඩි වශයෙන් කතාබහට ලක්විය.

කෙසේවෙතත් එක් අවස්ථාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ තමා විමසා බැලූ ආකාරයට පොලිස්පතිවරයා වරදක් සිදුකර නොමැති  බවත් වැඩිදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන බවත්ය.  එසේවුවද පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවූවේදැයි අවස්ථා කිහිපයකදී සොයා බැලුවද ඒ පිළිබඳ කිසිදු තහවුරු කිරීමක් සිදුනොවුණි.

 පළාත් පාලන මැතිවරණය එපාද?

 සියලු පක්ෂ එකඟතාවය පළකරන්නේ නම් මෙවර පමණක් පළාත් පාලන ඡන්දය මනාප ක්‍රමයට පැවැත්විම සඳහා සාකච්ඡා කර තීරණයක් ගත හැකි බව සභානායක හා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය සෙනසුරාදා (03දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. පළාත් පාලන වැය ශීර්ෂයේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය දැක්වූ අවස්ථාවේදීය.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසදෙනතුරු පළාත් පාලන ඡන්දය කල් දැමීම ජනතාවගේ ඡන්ද අයිතිය සමග සූදු සෙල්ලම් කිරීමක් බවයි. දේශපාලන මත පළවා හරිමින් නව ඡන්ද ක්‍රමය ගෙන ආවොත් යළි රට තුළ ලේ වැගිරීමක් ඇතිවීම වළකාලිය නොහැකි බවත්, සියලු පක්ෂ නියෝජනය වන නව ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කරනතුරු මෙවර පළාත් පාලන මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පවත්වන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
නව පනතට එක් වගන්තියක් එක්කර මෙවර පමණක් පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්විය හැකි බවද ඊට සියලු පක්ෂ එකඟ බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ සඳහා එකඟ වන බව එහිදී ඒකාබද්ධ විපක්ෂයද ප්‍රකාශ කළේය. නමුත් මෙම කරුණ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමත් සමග ඒකාබද්ධ විපක්ෂය පැරණි ක්‍රමයට මැතිවරණයට එකඟ නොවන බව නිවේදනය කරන්නට විය. මැතිවරණය හෝ ක්‍රමය පිළිබඳ නිසි මතයක් කිසිදු පක්ෂයකට නොමැතිද යන්න ගැටලුවක්ව තිබේ.

 පාරේ රස්තියාදු වෙනකොට ඔහොම දේවල් වෙනවා

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වැය ශීර්ෂ පසුගිය සෙනසුරාද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් බැවින් පළාත් පාලන මන්ත්‍රී සංසදය පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් පැවත්වූයේ මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමිනි.  එමෙන්ම ඔවුන් පාර්ලිමේන්තුව වටලන බවටද විටින් විට ප්‍රකාශ නිකුත්කර තිබිණි.

මේ අතර උද්ඝෝෂණයේ ඉදිරියෙන් යාමට ගොස් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට පොලීසියේ කදුළු ගෑස් හා ජල ප්‍රහාරයන්ට ලක්වන්නට විය.

එයම වාසියට හරවාගත් ඒකාබද්ධ විපක්ෂයේ මෙම මන්ත්‍රීවරුන් දසදෙනා තෙතබරිත ඇඳුමෙන්ම පාර්ලිමේන්තු සභාගැබට පැමිණියහ.
පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි පළාත් පාලන නියෝජිතයන් හමුවීමට ගොස් ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටියදී කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, විමලවීර දිසානායක, තාරක බාලසූරිය, කාංචන විජේසේකර, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණවිර, එස්.එම් චන්ද්‍රසේන හා ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරුන් සමග ඔහුද එම ප්‍රහාරයට ලක්වී තිබිණ.

&වහාම මේ ගැන පරික්ෂණයක් කළ යුතුයි. අපට සභාවේ ඉන්න බැරි තත්ත්වයකට අපේ ඇඳුම් අපවිත්‍ර වෙලා. මඩ ගෑවිලා, වතුරෙන් නෑවිලා…& යයිද මන්ත්‍රීවරයා කීවේ උස්හඬිනි.

&මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. මන්ත්‍රීවරු පාරේ රස්තියාදු වෙනකොට මෙවැනි දේවල් වෙනවා*  යැයි එවිට සභානායකවරයාද උස්හඬින් පැවසීය.

වැය ශිර්ෂයට ඡන්දයක්

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට ගත් සියලු අමාත්‍යාංශ වැය ශීර්ෂ සංශෝධනයකින් තොරව ඒකමතිකව සම්මත වූ අතර, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා ඡන්දයක් විපක්ෂය විසින් ඉල්ලූ නිසා ඡන්දය විමසීය.  එය වි‍ශේෂ සිදුවීමක් වූ අතර ඒ අනුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ වැය ශිර්ෂය වැඩි ඡන්ද 47 කින් සභාසම්මත විය . වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 83ක්ද, විරුද්ධව ඡන්ද 36ක්ද ලැබීමෙන් වැඩි ඡන්දයෙන් වැය ශිර්ෂය සභාසම්මත කෙරුණි. ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානයද වැය ශිර්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒකාබද්ධ විපක්ෂය පමණක් වැය ශිර්ෂයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

ලෝ මේකර්ස්ලායි ටී මේකර්ස්ලායි පැටලිලා

මන්ත්‍රීවරුන් ජල ප්‍රහාරයට ලක්වීම පිළිබඳව වැඩි වශයෙන්ම කතාබහට ලක්වූයේ සඳුදා (05) පාර්ලිමේන්තුවේදීය.

එහිදී දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාද විරෝධය දැක්වූ අතර, බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේ උද්ඝෝෂණය හේතුවෙන් තමාගේ නිල රථයෙන් බැස පයින් ගමන් කිරීමට සිදුවූ බවය.

&මට පයින් යන්න උනා. පොලීසිය මට වාහනෙන් බැහැලා පයින් යන්න කිව්වා. මේවා මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීමක්. පාර්ලිමේන්තුවේ ඉන්නේ ලෝ මේකර්ස්ලාට (නීති හදන පුද්ගලයෝ) ටී මේකර්ස්ලාට (තේ හදන පුද්ගලයින්) වගේ සලකන්න පොලීසියට බැහැ. මේ පිළිබඳ හොයලා බලන්න* යැයි බන්දුල මන්ත්‍රීවරයා මූලාසනයෙන් ඉල්ලා සිටියේය.

එහිදී නැගී සිටිමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ විපක්ෂයේ සිටියද දිනේශ් , බන්දුල , වාසු වැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් නවක මන්ත්‍රීවරුන්ට ආදර්ශවත් විය යුතු බවයි. උද්ඝෝෂණ කරමින් පාර්ලිමේන්තුව වටලන්නට යාම නොකළ යුතු බවද පැවසූ රජ්‍ය අමාත්‍යවරයා බන්දුල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දුන්නේ මෙසේය.

&බන්දුල මන්ත්‍රීතුමා කිව්වා ලෝ මේකර්ස්ල‍ට , ටී මේකර්ස්ලට වගේ සැලකුවා, ඒක හරි නෑ කියලා… ඉතිං ටී මේකර්ස්ලා ලෝ මේකර්ස්ලා උනාම ඔහොම දේවල් වෙනවා මන්ත්‍රීතුමා. පොලීසියට හරියට අඳුනගන්න බැරිවෙන්න ඇති ටී මේකර්ස්ලද, ලෝ මේකර්ස්ලද කියලා*

සේනසිංහ අමාත්‍යවරයා එසේ පවසන විට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියල්ලෝම සිනහ වන්නට විය.

හසුන් හුවමාරුව

පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ  දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පක්ෂ දෙකක මත දෙකක් නියොජනය කළද දෙදෙනා කුළුපඟ මිතුරන් බව සියල්ලෝම දන්නා කාරණයකි.

සඳුදා (05දා) පාර්ලිමේන්තුව ආරම්භයේදීම සිය අසුනට පැමිණි අග්‍රාමාත්‍යවරයා සිනහසෙමින් කොළයක යමක් ලියනු දක්නට ලැබුණි. පසුව එය නවා දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සේවකයකු අත යැවූ අතර, එය කියවූ දිනේශ් මන්ත්‍රීවරයාද සිනහ පළ කළේය. අගමැතිවරයා ලියූ කරුණට පහළින්ම සිය අදහස ලියූ දිනේශ් මන්ත්‍රීවරයා නැවත එය අගමැතිවරයාට ලැබෙන්නට සැලැස්වීය.

එයද කියවා සිනහසුණු අගමැතිවරයා තවත් මොනවාදෝ ලියා එය හතරට නවා  කථානායකවරයාට යැවීය. හසුන් හුවමාරු වූයේ එසේය.

මන්ත්‍රීකම නැතිකරන්න බැරි නිසා ඉන්නවා

මේ අතර පාර්ලිමේන්තුවේ සභාගැබෙන් පිටතදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නව පක්ෂය පිළිබඳ කතා කරමින් සිටියහ.

&අලුත් පක්ෂයට දැන්මම යන්නෙ නැද්ද?* යැයි එතැන සිටි තවත් අයෙක් ඔවුන්ගෙන් විමසුවේය.

&බැසිල් ඇමතිතුමා වැඩ ටික කරගෙන යනවා… අපිට දැන්මම යන්න බැහැ… මොකද එහෙම ගියොත් ඇත්තටම අපේ මන්ත්‍රීකම අහෝසි කරන්න පුළුවන්… ඒ නිසා මෙහෙම ඉන්නවා* යැයි ඒ සඳහා පිළිතුරු දුන්නේය.

ආණ්ඩුවට එන්න කන්නලව්

ආණ්ඩුව සමග කිසිදු මන්ත්‍රීවරයෙක් එක්නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසන විට සභානායක කිරිඇල්ල මහතා විටෙක පැවසුවේ,

&විපක්ෂයේ මන්ත්‍රීලා ආණ්ඩුවට එන්න කන්නලව් කරනවා… දැන් කතා කළොත් දැන් එනවා… එක්කෙනෙක් මට කිව්වා ඇමතිකමක් එපා මන්ත්‍රී කෙනෙක් විදිහට ආණ්ඩුවට ඇවිත් ඉන්නම් කියලා..* යනුවෙනි.

25000 වෙනස් නොවෙයිද

රථවාහන දඩ මුදල පිළිබඳ රටේම ලොකු කතාබහක් ඇතිව තිබියදී පසුගිය අඟහරුවාදා (06දා) පාර්ලිමේන්තුවේදී පැවති කැබිනට් මණ්ඩල හමුවේදීද ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී තිබේ. ඇමතිවරුන්ගේ බහුතරය එය අඩුකරනවාට විරුද්ධ වී ඇති අතර, අදාළ සංශෝධනද කඩිනමින් සිදුකළ යුතු බවටද ප්‍රකාශකර තිබේ. ඒ අනුව 25000 දඩය අනුවණ බවට‍ සිතිය නොහැකිය.

TOP TEN දිගටම යමු

 චීන සංචාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවූයේ පසුගිය (05දා) ය. එදින සාකච්ඡාවේදී  TOP TEN වැඩපිළිවෙළ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීරුවරුන් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

&ටොප් ටෙන් නිසා ඇමතිවරු කලබලවෙලා ඉන්නෙ. මේක දිගටම ඇදගෙන යන්න පුළුවන් . ටොප් ටෙන් වෙබ්සයිට් එකටත් හොඳ ප්‍රසිද්ධියක් ගන්න පුළුවන් වෙයි* යැයි මන්ත්‍රීවරුන් මෙහිදී පවසා තිබේ. ඒ අනුව TOP TEN පිළිබඳ දිගින් දිගටම කතා කිරීමටත්, ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අදහස් දැක්වීමටත් ඒකාබද්ධ කණ්ඩායම තීරණය කර ගත්තේය.

ඇමතිකම කරන්න බැරිනම් දීල යන්න

උතුරේ අනාථ කඳවුරුවල වෙසෙන ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස නොගැළපෙන බවත්, නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා  සිය කාර්යය නිසි පරිදි නොකර බවටත් විවාදය පුරාම විපක්ෂයේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් විසින් චෝදනා කරන්නට විය.

විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසුවේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස දෙමළ ජනතාවගේ සංස්කෘතියට අනුව ඉදිකරවන ලෙසය. එසේ නිවාස ඉදිකරන්නේ නම් නිවාස 10,000 සඳහා යොදවා ඇති මුදල් ප්‍රමාණයෙන් නිවාස  20,000ක් ඉදිකළ හැකි බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඒ අතර සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසූවේ ඇමතිකම ගෙන දෙමළ ජනතාව වෙනුවෙන් සේවය කළ නොහැකි නම් ඇමතිකම හැරදා යන ලෙසය. එලෙස සේවය කළ හැකි  මන්ත්‍රීවරුන් ඕනෑතරම් ආණ්ඩු පක්ෂයේ සිටිනා බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ දැඩි ආවේගයෙනි.

සල්ලි තියෙන සිරකරුවෝ පමණයි මනුෂ්‍යයෝ

බන්ධනාගාර රෝහල පිළිබඳවත්, එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලක්ෂ්මන් ජයමාන්න සහ දෙවැනියා වන වෛද්‍ය මලින්ත වර්ණජිත් වනිගසිංහ විසින් සිදුකරන දූෂණ පිළිබඳවත්, බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු එහි දූෂණ පිළිබඳවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් පසුගිය (06දා) දීර්ඝ ලෙස තොරතුරු හෙළි කළාය.

පුනරුත්ථාපන නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය.

&කාගෙවත් නම් කියන්නේ නැහැ… ඒ නිසා කවුරුවත් ඇවිස්සෙන්න එපා… දේශපාලඥයින් සියල්ලෝම ඇදන් උඩ…  සීමා රහිත අමුත්තෝ… දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාගේ උපන්දිනය තිබුණේ දෙසැම්බර් 03දා… පවුලෙම උදවිය ගිහිල්ලා උපන්දිය සමරලා ආවා… මට ඒ පුද්ගලයත් එක්ක කිසි පෞද්ගලික තරහක් නැහැ… කාලයත් තිබුණා… වයසින් මුහුකුරා ගියාම ඒක ඉවරයි… නමුත් බන්ධගාරයට ගිහිල්ලත් මේ සල්ලි තියෙන හැමෝම ගෙවන්නේ සාමාන්‍ය ජීවිත නම් අර දුප්පත් අසරණ මිනිස්සුන්ට මොකද වෙන්නේ… බන්ධනාගාර කොමසාරිස්ට මම කියන්න කැමතියි බන්ධනාගාරය ඉදිරිපිට ගහලා තියෙනවා සියලුම සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා… ඒක මකලා සියලු සල්ලි තියෙන සිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා ගහන්න* යැයි පැවසුවාය.

විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු උසේ තරමට බර නැතැයි කියා බොරුවට රෝහල්ගතව සිටින ආකාරයත්, පාටි සිරකාරියන්ට වෛද්‍ය ජයමාන්න ලිංගික බලපෑම් කළ ආකාරයත්, දූෂණ ගැන ඇසූවිට බන්ධනාගාර කොමසාරිස්වරයා පොඩි දරුවෙකු සේ තමා ඉදිරියේ හඬාවැටුණු ආකාරයත් මේ අයුරින්ම මන්ත්‍රීවරිය හෙළි කළාය.

ප්‍රශ්න ඇහුවොත් ඇමතිකමක්?

අයවැය විවාද පැවැත්වෙන නිසාම මේ සති කිහිපයේම කැබිනට් හමුව මෙන්ම කැබිනට් මාධ්‍ය හමුවද පැවත් වුයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

මෙවර බදාදා (07දා) දිනයේදී සුපුරුදු පරිදි  කැබිනට් මාධ්‍ය හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට සූදානම්කර තිබුණි. සම කැබිනට් ප්‍රකාශක ගයන්ත අමාත්‍යවරයා තරමක් ප්‍රමාද වන බව පවසමින් එදින කලින්ම පැමිණියේ සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරායයි.

ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පැමිණෙනතුරු මාධ්‍යවේදීන් සමග සුහද කතාබහක යෙදී සිටි අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න පිළිබඳවද කතා කරමින් සිටියේය.

&අපෙන් මෙහෙම  ප්‍රශ්න අහන අයට මාස තුනකට ඇමතිකමක් දීලා බලන්න ඕන… එතකොට මම වාඩිවෙලා ප්‍රශ්නයක් අහනවා. එතකොට බලමු කොහොමද කරන්නනේ කියලා* යැයි පැවසුවේ සිනහ වෙමිනි.

&ඔහොම ප්‍රශ්න අහපු නාමල් කරුණාතිලකගේ ඉඳන් මාධ්‍යවේදියෝ කීදෙනෙක් පාර්ලිමේන්තු ආවද? දැන් මොකද වෙලා තියෙන්නේ. වෙනසක් වෙලා තියෙනවද?

පාර්ලිමේන්තුව සජීවීව පෙන්වන්න යෝජනා කරද්දි විරුද්ධ වුණේ දෙන්නයි. ඒ දෙන්නම කලින් මාධ්‍යවේදියෝ* යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙච්චර කල් මම කට වහගෙන හිටියා

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂය යටතේ අදහස් දක්වමින් පසුගිය කාලය පුරාවට සිදුවූ දූෂණ, වංචා පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් කරමින් සිටි අතර, එහිදී  අනුරාධපුර දිස්ත්‍රික්කයේ එස්.ඒ මුතුකුමාර (ඒකාබද්ධ විපක්ෂයේ) මන්ත්‍රීවරයා බාධා කරන්නට විය. එවිට සිය කතාව වෙනස් කරමින් අනුර මන්ත්‍රීවරයා පැවසුවේ අතීත සිදුවීමක් පිළිබඳවය.

&මගේ අයියා ඝාතනය කරන්න උපදෙස් දුන්නේ මෙයා, එප්පාවල පොලීසියේ තොරතුරු තියනවා… මම මෙච්චර කාලයක් කටවහගෙන හිටියා… අහිංසකයා වගේ හිටපු නිසා මමත් පාඩුවේ හිටියේ… මගේ කට අවුස්සගන්න එපා…* දිසානායක මහතා දැඩි ස්වරයෙන්ම කීවේය.

සිරගත වීමේ දැඩි උවමනාවක්

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී හිටපු එස්.ටී.එෆ් ප්‍රධානියා සිරගත කිරීම පිළිබඳ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කළේය.

&එස්.ටී.එෆ් එකේ හිටපු ප්‍රධානියා 2011 වසරේ විශ්‍රාම ගියාට පස්සෙ 2015.01.08 දක්වා දිගින් දිගටම වාහන අවභාවිත කරලා තිබෙනවා. නමුත් ජනවාරි 08න් පසුවත් දීර්ඝ කාලයක් වාහන අවභාවිත කරපු නිසා තමයි මේ නඩුව දාලා තිබෙන්නේ… එක්ලක්ෂ හතළිස්දහසක මුදල ගෙවන්න මාස ගණනාවක්ම පොලිසීය කල් දුන්නා. නමුත් ඔහු එය ගෙව්වෙ නැහැ. හිතාමතාම කල් ඇරියා. ඔය කියන දවසේ අධිකරණයට ඉදිරිපත් කරනවා කියල කියපුවාම අධිකරණයට ගියෝ බොහොම සතුටින්. ඇප ඉල්ලුවේ නැහැ. නීතීඥවරයෙක් නැතුව ගියේ. මට සිරගතවෙන්න ඕන කියන චේතනාවෙන් තමයි සිරගත වුණේ. මොකද සැලැස්මක් සහිතවයි ඒක කරගත්තේ. මොකද ඔහු ඒකාබද්ධ විපක්ෂ අපේක්ෂ ලයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙලයි මේක කරන්නේ. ජනතාව වෙනුවෙන් හිරබත් කෑවා කියලා ජනතා නියෝජිතයෙක් වෙන්න එනවා කියලා තමයි මේ කියන්න හැදුවේ*

මෙම ප්‍රකාශයෙන් පසුව කිසිවකු එය ප්‍රතික්ෂේප නොකිරීමද විශේෂත්වයකි.

අගමැතිගේ සමාව

එජාප පාලන සමයේ යාපනයේ පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ සමාව ගත්තේය. එමෙන්ම පසුගිය පාලන සමයේ සිදුවූ වැරදි සම්බන්ධයෙන්ද එලෙස සමාව ගන්නේදැයි එහිදී අගමැතිවරයා විපක්ෂයෙන් විමසීය.

වැරදි පිළිගෙන ඒවාට සමාව ගැනීම අගය කළ යුතුය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද දමිළ ජනතාවට සිදුවූ පීඩා සම්බන්ධයෙන් සමාව ගන්නා බව  වරෙක සිය පාලන කාලය තුළදී පවසා තිබුණි.

වරද පිළිගැනීම සමාව ගැනීම මෙන්ම ඉන්පසු වැරදි නොකර සිටීමද වැදගත්ය. වරද පිළිගැනීම අගය කරනවා සේම මින් පසුවට එවැනි වරදවල් සිදුනොවනු ඇතැයි මහජනතාව පාලකයන්ගෙන් බලාපොරොත්තු වේ.

තිලංගගේ පටලා ගැනීම

පාර්ලිමේන්තු කාරකසභා සභාපති ලෙස මූලාසනය හොබවමින් ක්‍රිකට් ආයතනය සම්බන්ධ පැහැදිලි කිරීමට යාමෙන් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකළ බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී චෝදනා කරන්නට විය.

ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සැපයීමට ඒ අවස්ථාවේදී කාරක සභාවේ සභාපති ලෙස සිටි තිලංග සුමතිපාල මහතා  ඉදිරිපත් විය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ කාලය උපයෝගී කර ගනිමින් හෙතෙම මෙලෙස අදහස් දැක්වූ අතර, ඒ ආකාරයෙන් අදහස් දැක්වීමට තිලංග සුමතිපාල මහතා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.

පසුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීමක් අනුව තිලංග සුමතිපාල මහතා සිය පැහැදිලි කිරීම මූලාසනයේ සිටම සිදුකරන්නට විය.

මේ අතර නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක  අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ කාරක සභාවේ සභාපතිවරයෙකුට එවැනි ආකාරයකට පාර්ලිමේන්තු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදිය නොහැකි බවත්, ඔහු සභාපති  පුටුවෙන් ඉවත්ව සභාවට පැමිණ පිළිතුරු ලබාදිය යුතු බවත්ය.

තමාට එසේ අදහස් දැක්විය හැකි බව නියෝජ්‍ය කථානායක තිලංග සමුතිපාල මහතා ප්‍රකාශ කිරීමත් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, පාර්ලිමේන්තුව උණුසුම් විය.

මෙහිදී අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මෙසේ පැවසීය.

“ඔබතුමා මුලසුනේ ඉන්නේ. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ඔබතුමා කොහොමද මූලාසනයේ ඉඳන් පිළිතුරු දෙන්නේ. ඔබතුමාට පුළුවන්නේ මන්ත්‍රීවරයෙකු විදිහට පිළිතුරු දෙන්න. මේක මට ප්‍රශ්නයක්

නියෝජ්‍ය  කථානායක – ඇමතිතුමා තමයි මට කිව්වේ උත්තර දෙන්න කියලා.

අනුර දිසානායක –  අමාත්‍යවරයාට කියන්න පුළුවන් මන්ත්‍රීවරයාට උත්තර දෙන්න කියලා. මූලාසනයේ ඉඳන් කොහොමද උත්තර දෙන්නේ.

අමාත්‍ය දයාසිරි ජයසේකර – කථානායකතුමා නැතිව එතුමාට මෙතෙන්ට ඇවිත් උත්තර දෙන්න බැහැ. උත්තරයක් දුන්නොත් ලේසියි. ඒ නිසයි මම කිව්වෙ පිළිතුරක් දෙන්න  කියලා. හරිනම් මෙතුමා ඉන්න ඕන අර බොක්ස් එක ඇතුළේ.

අමාත්‍ය අර්ජුන රණතුංග – පහළට ඇවිත් සාකච්ඡා කළාට කමක් නැහැ. පාර්ලිමේන්තුවට පටහැනි දෙයක් කරලා  තියෙන්නේ. තමන්ගේ තානාන්තරය අනිසි විදිහට පාචිච්චි කරලා තියෙනවා. කණගාටු වෙනවා. මම කිව්වේ අමාත්‍යවරයාට පිළිතුරක් දෙන්න කියලා.

අමාත්‍ය දයාසිරි ජයසේකර – මම කිව්වම පහුවදා උදේට අර්ජුන ඇමතිතුමා සේව්ද ස්පෝර්ට් කියලා. කට්ටියක් දාගෙන මාධ්‍ය සාකච්ඡා තියනවා. මේවට උත්තර දෙන්න වෙනවා. නැත්නම් මමත් මොකාද වෙනවා. ඒකයි උත්තරයක් දෙන්න කිව්වේ. ඉතිං මට සේව්ද ස්පෝර්ට් කියලා එකක් පටන් අරගන්න වෙනවා.

අනුර දිසානායක – ඒක ඔබතුමාගේ වගකීම

මෙවැනි සිදුවීම්ද සමග ඇයවැය වැය ශිර්ෂ සම්මත කරගනිමින් අයවැය ක්‍රියාවලියේ අවසානයට පැමිණ තිබේ. පාර්ලිමේන්තුවේ පුවත් මවන සිදුවීම් අද (09) සහ හෙට(10)  සිදුවීමට ඉඩඇති අතර, කෙසේවෙතත් ජනතාවට සිදුවන්නේ  බලාසිටීමට පමණි.

අයවැය තෙවැනිවර ඡන්ද විමසීමෙන් අනතුරුව යළි පාර්ලිමේන්තුව රැස්වන්නේ 2017 වර්ෂයේදී ජනවාරි මාසයේදීය.

 _ උපුටා ගැනීම අද පුවත්පත –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *