භාෂාව සහ ආශාව 

xxxxxxxxxxxxxxxxxxxx-2-300x207චරිත හේරත් – පසුගිය සති කීපය පුරාම මගේ මේ සටහනට පදනම් කරගත්තේ රටේ එදිනෙදා දේශපාලනයේ සිදුවන සිදුවීම්ය” දේශපාලනමය කියවීම් හුදු සිදුවීම් මත පමණක් තබා විස්තර කිරීමෙන් ඔබ්බට යා යුතු බවත් එම දේශපාලන සිදුවීම් පසුපස තිබෙන දෘෂ්ටිවාදි තත්ත්වයන් මතු කරගනිමින් සිදුකරන විෂ්්ලේශණයන් අවශ්‍ය බවත් අපේ රටේ ‘දේශපාලන සාකච්ඡාවන්’ දෙස බැලීමෙන් කදිමට පැහැදිලි වේ. මේ සතියේ මගේ සටහනින් තරමක දාර්ශනික කාරණයක් කථා කළ යුතු යැයි සිතුණේ ඒ නිසාය. එහෙත් සරල සිංහලෙන් හැමෝම දන්න සිද්ධියක් ගැන ලියන දේවල් වුණත් සමහරුන් කියන්නේ ඒ අයට ‘තේරෙන්නේ නැති’ බවය. තවත් සරලව ලිවිය යුතු බවය. එවැනි තත්ත්වයක දර්ශනික කාරණා තේරෙන සිංහලෙන් කියන්නට ගොස් තත්ත්වය තවත් සංකීර්ණ වන්නටත් පුළුවන . රටේ හුඟක් අයට හුඟක් දේවල් තේරෙන්නේ නැති සන්දර්භයක සිටින අපිට සංකීර්ණ යමක් සරලව කියන්නට උත්සාහ කිරීමම අභියෝගයක් බව පිළිගනිමින්ම මේ සටහන ලියන්නට සිතුවෙමි.
තොරණක් ඉස්සරහ පැත්තෙන් බලන විට පෙනෙන්නේ සරලව සුන්දරව හා පැහැදිලිව වුවත් එම තොරණේ පසුපස ඇත්තේ සංකීර්ණ පටලැවුණු හා විසිරුණු තත්ත්වයක් බව තොරණ නොගැසුවත් බොහෝ අය දන්නා කාරණයකි. ඒ වගේම අපි අපගේ එදිනෙදා ජීවිතයේ ගනුදෙනු කරන ‘සිද්ධිමය ලෝකය’ අත් විඳින්නේ සරලව සුන්දරව සහ පැහැදිලිව විය හැකි වුවත් එය පසුපස ඇති තත්ත්වයන් ඥානවිභාගාත්මකව තේරුම් ගන්නා විට පෙනෙන්නේ සංකීර්ණ පටලැවුණු සහ විසිරුණු ආකාරයෙන්ය. මෙම පටලවිලි සහගත තත්ත්වයන් තේරුම් ගැනීම සහ විමර්ශනය කිරීමම දාර්ශනික සහ දේශපාලනික ක්‍රියාදමයක් බව මෙහිදී පැහැදිලි කළ යුතුය.
මවිසින් මීට පෙර සටහනක ලියූ පරිදි අපේ රටේ අපි මුහුණ දෙමින් සිටින ප්‍රධාන අභියෝගයක් වන්නේ ‘ප්‍රශ්නවලට පිළිතුරු’ නැති වීමට වඩා ‘ප්‍රශ්නය විමර්ශනය කර ගැනීමේ හැකියාව නොමැති’ නිසාම ඇති කරගත් තත්ත්වයක්ය. අපි කරමින් ඉන්නේ ප්‍රශ්නයක් විමර්ශනය කරගන්නේ නැතිව එයට තම තමන්ගේ හැඟීම් හා ප්‍රඥප්තීමය නිර්වචනයන් (normative interpretations) තවරමින් ප්‍රශ්නය ‘මඩ කරගන්නා’ තත්ත්වයක් ගොඩනැගීමයි. එසේ තම තම නැණ පමණ ප්‍රතිනිර්මාණය කරගත් (මඩ කරගත්) ප්‍රශ්න විසඳන්නට දේශපාලනඥයාගේ සිට ආගමික නායකයා දක්වා හැමෝම උත්සාහ දරමින් සිටිති. විසඳලා ඉවර වෙන විට විසඳී ඇත්තේ තිබුණු ප්‍රශ්නය නොවන බව තේරුම් ගන්නා අපි යළිත් පළමු වටයෙන්ම ගැටලුව ‘මඩකරන්නට’ පටන් ගන්නෙමූ. (අපි කවුරුත් විසඳන්නට උත්සාහ කරන ජාතික ගැටලුව මෙයට කදිම නිදසුනකි). නිදහසින් පසුව අපේ රටේ දේශපාලනයේත් ශාස්ත්‍රීය සාකච්ජාවේත් ඇති මේ ස්වභාවය පරාජය කළ හැක්කේ ජන්දයෙන් නොව විධික්‍රමික සහ විමර්ශනය මැදිහත් වීමකින්ය.
භාෂාව යනු අපේ පැවැත්මේ අනුලංගනීය ස්වභාවකි. මිනිසා ස්වභාවයෙන්ම භාෂාත්මකභාවයකින් යුක්ත වන නිසා එම භාෂාත්මකත්වය යනු සත්භාවාත්මක (ontological) තත්ත්වයක් වන අතර එම තත්ත්වය පාවිච්චි කරමින් අපි කථා කරන භාෂාවන් අපි විසින්ම නිර්මාණය කරගන්නෙමු. ඒ අනුව කථාකරන භාෂාව යනු සංස්කෘතික (cultural) නිර්මාණයක් වේ. වඩාත් සරලව ගතහොත් භාෂාව රූපකයන් දෙකක් එකවිට නියෝජනය කරයි. එකක් ස්වභාවිකව අපිට ඇති (වෙනස් කළ නොහැකි) භාෂාත්මකභාවය වන අතර අනෙක වන්නේ එම තත්ත්වය පාවිච්චි කරමින් අපි සංස්කෘතිකව නිර්මාණය කරගන්නා (වෙනස් කළ හැකි) භාෂාවයි. මනෝවිද්‍යාව සහ දර්ශනයේදි බරපතළ ආකාරයෙන් සැළකිලිමත් වන්නේ මා පළමුවෙන් සඳහන් කළ මිනිසා සතුව ඇති මෙම භාෂාත්මකභාවය පිළිබඳවය. විසිවන සියවසේ ක්‍රේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයන් මුල්කරගත් භාෂාත්මක දර්ශනවාදින් එක් විටෙක තර්ක කළේ භාෂාව සහ යථාර්ථය යනු දෙකක් නොව එකක් බවය. එයට හේතුව වූයේ මිනිස් ඥානය සම්පූර්ණයෙන්ම පදනම්වන්නේ භාෂාත්මකභාවය මිනිස් විඥානය සමඟ ගොඩනගන සම්බන්ධතාවය මත බවට ඇති පිළිගැනීමයි. වෙනත් ලෙසකින් කීවොත් ඔවුන් තර්ක කළේ භාෂාත්මකභාවය මකා දැමුවහොත් (delete කළහොත්) ඥානය සම්බන්ධ සාකච්ජාව නිමා වන බවයි. දැන් භාෂාව මඟින් අප ඍජුව ඉදිරිපත් කරන අදහස් පමණක් මත අර්ථය පිළිබඳව හෝ යථාර්ථය පිළිබඳව තීරණ ගැනීම නිවැරැද යන ගැටලූව මේ සමඟ මතුවන්නේ එක් විශේෂ හේතුවක් නිසාය. එනම් භාෂාත්මකභාවය ස්වාභාවික වී කථාකරන භාෂාව සංස්කෘතික වන තත්ත්වයක් තුළ එම සංස්කෘතික භාෂාවේ අර්ථයන් ස්වභාවිකව කාටත් පොදු ඒවාද යන්න ගැටලුවයි. මේ නිසාම යම් දෙයක් පිළිබඳව එක් අයෙකු දෙන නිගමනයක් යනු නිශ්චිතව හැමෝටම එකඟ විය හැකි (හෝ එකඟ විය යුතූ) දෙයක්ද නැතහොත් ඒ ඒ නිගමනයන් යනු විවිධ සන්දර්භයන්ට අනුව ගොඩනැගෙන සමාජමය නිෂ්පාදනයන්ද යන ගැටලුව බරපතළ අයුරින් මතුවන නිසාය. (ඇ‍ෙමරිකාව ‘ත්‍රස්තවාදය’ ලෙසින් කඟවන දෙය තවත් රටක ‘විමුක්තිවාදය’ ලෙසින් අර්ථ දක්වන්නේ නම් පිළිගත යුත්තේ කුමන නිගමනයද යන ගැටලුව මේ සඳහා උදාහරණයක් ලෙසින් දැක්විය හැකිය). දැන් භාෂාවේ ඇති මේ බරපතළ අර්බුදකාරි සහ වාදභරිත තත්ත්වය තුළ නිශ්චිතව පිළිගත හැකි නිගමනය පිළිබඳව සංවාදය අපේ රටේ සමාජ සිතීමේ විශාල කලාපයක්ය.
අනෙක් අතට භාෂාව සහ ආශාව අතර ඇති සම්බන්ධය හා වෙනසද මෙහිදි තවත් වැදගත් කාරණයකි. අපගේ භාෂාත්මක හැසිරවීමේ (විශේෂයෙන් කථනයේ) ඇති ‘බලපෑම් සහගත බලය’ යනු සීග්මන් ප්‍රොයිඩ් සාකච්ජා කළ මුලික කරුණකි. මනෝ විශ්ලේෂණයේදි මුලික වශයෙන් සිදු කෙරෙන්නේ මෙම කාරණයෙන් ආරම්භ වන භාෂාවේ ගැටලු සාකච්ජා කිරීමයි. භාෂාත්මකාශාව (desire in language) ලෙසින් හැඳින්විය හැකි ‘භාෂාව මඟින් මතුවන ආශාව’ මඟින් සිදුකරන බලපෑම පිළිබඳව තේරුම් ගැනීමත් එසේම සමස්තයක් ලෙසින් මිනිසාගේ සියලුම ආකාරයේ සංකේතාත්මක අන්තර් සම්බන්ධතාවන් පිළිබඳව හැදැරීමත් ප්‍රොයිඩ්ගේ අවධානය යොමු වූ ක්ෂේත්‍රයන්ය. භාෂාව මඟින් මතු කෙරෙන ආශාව අනෙකුත් ආශාවන් මෙන් නොව ඍජුවම නොපෙන්වන සුලු ‘වසාගත්’ එකකි. එම ආශාවේ ඇති නොපෙන්වන සුළු හැසිරීම සහ එම හැසිරීම්වලින් අප වෙත සිදුවන බලපෑම තේරුම් ගැනීම පහසු දෙයක් නොවේ. එසේ වන්නේ ඇයි? මෙහි ඇති ගැටලුව කුමක්ද? යන්න විමසා බැලීම මනෝ විශ්ලේෂණයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් වූ ඒ නිසාය.
අපගේ ශරීරයේ අවශ්‍යතාවන් (ආශාවන්) ක්‍රියාත්මකවීමේදි ඒවා ඍජුවම අපේ ආශාවන්ට අනුවම ක්‍රියාත්මක කිරීමට නොහැකිය. ඒවා ක්‍රියාත්මක කිරීමේදි සංස්කෘතියේ අණ පණත් වලට (භාෂාවට) යටත්වීමට සිදු වන අතර ‘සංස්කෘතික’ අණ පණත්වලට ‘ආශාව’ යටත්වීමේදී ඇතිවන තත්ත්වය සාකච්ඡා කිරීමත් මිනිසාගේ පූර්ව මිනිස් ආශාවන් ඒ ආකාරයෙන් මුදා හැරීමට නොහැකිව ඒවා සමාජමය වූ අරමුණුවලට අනුව හැසිරවීමට සිදුවන අවස්ථාවලදී මතුවන තත්ත්වය සාකච්ඡා කිරීමත් මෙහිදී ඉතාමත් වැදගත් කාරණාය.
සමස්තයක් ලෙසින් ගත් විට භාෂාව මඟින් සිදුවන්නේ මිනිස් ආශාව යම් නීතියකට යටත් කිරීම වන අතර එසේ වුවත් මිනිස් ආශාව යටතේ ක්‍රියාත්මක වන සියලු අපේක්ෂාවන් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව කියා පෑමට භාෂාවට නොහැකි වන තත්ත්වයකදී සිදුවන්නේ කුමක්ද යන කාරණය විශ්ලේෂණාත්මකව බැලීමත් එසේ භාෂාව මඟින් (භාෂාවේ නීති රිතීන් මඟින්) මඟ හරිනු ලබන මිනිස් ආශාවේ ක්ෂේත්‍රය හැදැරීමත් දේශපාලනික කාරණයක් බවට පත් වන බව පිළිගත යුතුම සත්‍යයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *