මෙහෙන් කවුරු හරි ගියොත් එහෙන් එන්නත් අය ඉන්නවා

 

සංවත්සරයෙන් පසු ශ්‍රීලනිපය, කැරැලි ගසන්නන්ට එරෙහි පියවර, එජනිස ඉරණම, ඒකාබද්ධයේ අභියෝග, ආණ්ඩුවෙන් යන ඇමැතිවරු, නව ව්‍යවස්ථාව හා ශ්‍රීලනිප නිලධාරි මණ්ඩලයට එල්ල වන විවේචන ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතායි.

ප්‍රශ්නය – මෛත්‍රී මහින්ද ලෙස දෙපිල බෙදී තමයි 66 වැනි සංවත්සරයත් සැමරුණේ. දැන් පක්ෂ ප්‍රතිසංවිධානය කරන්නේ පක්ෂෙ දෙකට කඩාගෙන නේද?
පිළිතුර – මුලදී ඔවුන් දිගින් දිගටම කිව්වේ සංවත්සරයට ආරාධනා නොලැබුණා කියලයි. හැබැයි අපි පහුගිය 31 වැනිදා හිටපු ජනාධිපතිවරයාට අතේ ගෙනිහිනුත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට කුරියර් සේවයෙනුත් දෙවැනි වරටත් ආරාධනා පත් යොමු කළා. ඊටත් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට සහභාගී නොවෙනවා නම් එය ඔවුන්ගේ කැමැත්තයි. කැමැති නම් එන්න පුළුවන් වගේම අකැමැති නම් නෑවිත් ඉන්නත් පුළුවන්. එහෙත් ශ්‍රීලනිපය විදියට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පටන්ගන්න මීට පස්සේ අපි සූදානම්.
ප්‍රශ්නය – පක්ෂ ප්‍රතිසංවිධානය කරන්නේ කාත් එක්කද?
පිළිතුර – අපි ප්‍රතිසංවිධාන කටයුතු කළයුත්තේ පක්ෂය සමඟ සිටින පිරිස සමඟයි.

ප්‍රශ්නය – පක්ෂය සමඟ නොසිටින පිරිසට වෙන්නෙ මොකද්ද?
පිළිතුර – පැහැදිලිවම ඔවුන් සම්බන්ධයෙන් පක්ෂ ව්‍යවස්ථාවට අනුව විනය පියවර ගැනීමට සිදුවෙනවා.

ප්‍රශ්නය –  හැබැයි ඔය කියන විනය පියවර පහුගිය කාලය පුරාම සෘජුව ගෙන නැති බව පේනවා?
පිළිතුර – එහෙම නෑ. පක්ෂ නායකත්වය ගත යුතු තැන නිසි පියවර ගෙන තිබෙනවා.

ප්‍රශ්නය – උදාහරණයකට සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විනය කමිටුවෙන් වැරැදිකරු කළත් ඊට අදාළ නෛතික ලියැවිල්ලට අස්සන යොදන්නේ නෑ. ඒක බොරුවක්ද?
පිළිතුර – පැහැදිලිවම මේ වෙනකොට වාර්තාවක් නිකුත් වෙලා නෑ. ඒ වාර්තාව තාම අපිට ලැබිලා නෑ. මාධ්‍ය මගින් වැරැදි ප්‍රචාරයක් තමයි එලියට ගිහින් තිබුණේ. අපට ඒ විනය කමිටුවේ වාර්තාව ලැබෙන්නේ අනිද්දායි. මට එය ලැබුණාම ඒක මධ්‍යම කමිටුවට ඉදිරිපත් කර එතැනින් තීන්දුව ගන්නවා.

ප්‍රශ්නය – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ එයින් ඉවත්වීමේ සූදානමක් තිබෙනවා. එවිට දේශපාලන වශයෙන් ඉතිරි වන සන්ධානය කෙබඳුද?
පිළිතුර –  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ කිසිවක් නිල වශයෙන් එවැනි ඉවත්වීමක් ගැන දැනුම් දී නෑ. හැබැයි අලුතින් අපිත් එක්ක එකතුවෙන්න නම් බොහෝ පාර්ශ්ව සාකච්ඡා කළා. මේ වෙනකොට රටේ අලුත්ම වැඬේ නිව්ස් ප්ලාන්ට් කරන එක. එක්කෝ පත්තරේක පොඩි නිව්ස් එකක් දාගන්නවා. නැත්නම් මයික් හතරක් පහක් දාගෙන මේ රටේවත් වෙලා නැති දෙයක් ගැන කට් එකක් දෙනවා. ඊට පහුවැනිදා පටන් ජනතාවත් ඒක ගැන කතාකරන්න ගන්නවා. අද රටේ තැන තිබෙන්නේ ප්ලාන්ට් කරපු නිව්ස්වලට.
ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා නැතිව තරග කර එකම ඡන්ද කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කර පෙන්වන්නැයි ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට අභියෝග කරනවා. බාරගන්නවද?
පිළිතුර – මේ අයට වැරදිලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මන්ත්‍රීවරු දිනවන්නේ කියලා මේ අය හිතනවා. මේක ප්‍රායෝගික කාරණයක් නෙවෙයිනෙ. මහින්ද රාජපක්ෂ මහත්තයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ හයිය තිබුණා. හැබැයි කොහොමද ඒ හයිය ලැබුණේ? ජනාධිපතිවරණයෙන් පැරදුණු මහින්ද මහත්තයාට අගමැති වෙන්න අවස්ථාව තිබුණා. මහින්දවාදියෝ ටිකක් පාර්ලිමේන්තුවට ආවොත් තමයි මට අගමැති වෙන්න පුළුවන් කියලා මහින්ද මහත්තයා කල්පනා කළා. එතකොට මෛත්‍රීවාදින් ආවොත් බෑ. ඒ නිසා මහින්ද මහත්තයා වේදිකාවෙදි හිතාමතාම දින සීයේ ආණ්ඩුවේ කටයුතු කළ හා මෛත්‍රීවාදින් යැයි විශ්වාස කළ හැකි සියලු දෙනා පරාජය කිරීමට වැඩ කළා. කට්ටියගෙ නම් කියද්දී දින සීයෙ එක්කෙනාගෙ නම එයාට අමතක වෙනවා. වේදිකාවට නගිද්දී හූව එනවා. එයා ඉතින් මගෙත් නෙවෙයිනේ වගේ කතා කියනවා. ඔහු තමන්ගෙ ජය වෙනුවෙන් කණ්ඩායමක් හැදුවා වගේම කණ්ඩායමක් පැරැද්දුවා. ඒක ඇත්ත. හැබැයි ප්‍රාදේශීය සභාවකට මහින්ද මහත්තයගෙ මිනිහෙක් දාලා මොනවා කරන්නද? එයාට ආණ්ඩුවක් තියෙනවාද? අනාගතයේ ආණ්ඩුවක් හදන්න පුළුවන් ද? මහින්ද මහත්තයට ජනාධිපති වෙන්න පුළුවන් ද? ප්‍රාදේශීය සභාවකින් ගමට නායකයෙක් අපි හදාගන්න යන්නේ පඩියක් දීලා නමක් දීලා මිනිහෙක් හදන්න නෙවෙයිනෙ. ඒ ගමට වැඩක් කරන්නයි. ගමට වැඩක් කරන්න නම් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප හෝ එජාප මන්ත්‍රීවරයෙක් පත් කරගත යුතුයි. එහෙම නැතිව වෙන කිසිම පක්ෂෙක කෙනෙක් පත්කළාට ගමේ සංවර්ධනයක් කරගන්න පුළුවන් කමක් නෑ. එතුමා අභියෝග කරනවා නම් ශ්‍රීලනිපය හැටියට අපි එය බාරගන්නවා.

ප්‍රශ්නය – ඔබ හිතන්නේ මෙය පහසු අභියෝගයක් කියලද?
පිළිතුර – මහින්ද රාජපක්ෂ මහතා නැතිව ජයග්‍රහණය කරන්න බෑ යැයි කියනවනෙ. දැන් ඕකම අනෙක් පැත්තට අරන් බලන්න. බැරි වෙලාවත් මහින්ද රාජපක්ෂ මහත්තයා ලෙඩ වුණොත් මළොත් මොකද වෙන්නේ? මේක කියන්න ඕනෑ. අපිට හොඳ පිට කොන්දක් තියෙනවා. ශ්‍රීලනිපයේ අපිට මාකට් කරන්න වෙන දේවල් ඕන නෑ.

අපි දේශපාලනය කරන්නේ ප්‍රතිපත්ති එක්කයි. ඔය කතා කරන බොහෝ දෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ජනප්‍රියත්වය එක්ක එලියට බැහැලා තියෙනවා මිසක් කෝ එතැන ප්‍රතිපත්තියක්? වැඩපිළිවෙලක්? කිසිම දෙයක් නෑ. නායකයෝ නැතිවෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. අලුත් වෙන්න පුළුවන්. ඒත් පක්ෂෙට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ.
ප්‍රශ්නය – මහින්ද රාජපක්ෂ නමැති චරිතය දේශපාලන නායකත්වයක් දෙන තත්ත්වයක් තුළ කරට කර සටනක් දිය හැකිද?
පිළිතුර – මහින්ද මහත්තයා නැතිව දිනන්න බෑ කියලා ඔය හැමෝම හිතන් ඉන්නවනෙ. මේ දුමින්ද දිසානායක අගෝස්තු 17 මහින්ද මහත්තයා අගමැති කරනවා කියලා ඡන්දෙ ඉල්ලුවෙ නෑ. 2014 නොවැම්බර් 21 දරපු මතය තමයි අදත් දරන්නේ. මම ශ්‍රීලනිපයෙන් ඡන්ද ඉල්ලුවේ මගේ ප්‍රතිපත්තිය කියලයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක එලියට ගිය අය නව ආණ්ඩුව බිහිකිරීම සමඟ එක්සත් ජාතික පක්ෂය සමඟ මැතිවරණයට තරඟ කළත් මම ශ්‍රීලනිපයෙන්මයි තරඟ කළේ. මම මහින්ද මහත්තයගෙ වේදිකාවට නැග්ගෙ නෑ. මෛත්‍රීපාල මහත්තය වේදිකාවට ගෙන්නුවේ නෑ. මගේ පෝස්ටරේ හිටියෙ තාත්තයි මායි විතරයි. මහින්ද මහත්තයා අපිව පරද්දන්න උත්සාහ කරද්දිත් ඔහුව නැතිව පාර්ලිමේන්තුවටත් ගිහින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් සියලු මැතිවරණවලදි අපි ජනතාව හමුවට ගෙනියන්නේ පක්ෂයෙ වැඩපිළිවෙලයි. එහෙම නම් ප්‍රසන්න රණතුංග මහත්තයටත් ඒ මෑත ඉතිහාසයම මතක් කරදෙන්න ඕනෑ.

ප්‍රශ්නය – ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දස දෙනෙකු විපක්ෂයට යන බව නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුම කියනවා. ආණ්ඩුවේ බහුතර බලය නැති වෙන්නද යන්නේ?
පිළිතුර – එහෙම වෙන්නේ නෑ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේත් එය පැහැදිලිවම කිව්වා. 2020 වනතුරු මේ ආණ්ඩුව ශක්තිමත්ව ගෙනියන බව එතුමා කිව්වා. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට ගත් තීන්දුවට පටහැනි ලෙස පුද්ගලිකව තීන්දු ගැනීමක් වේ යැයි තාමත් අපි විශ්වාස කරන්නේ නෑ.

ප්‍රශ්නය – යම් හෙයකින් ගියොත් ඊට පස්සේ?
පිළිතුර – යන කතාවක් අපි දන්නේ නෑ. හැබැයි ඒ පැත්තේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නම් අපිත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. මෙතැනින් යම් පිරිසක් අයින් වෙනවා නම් තවත් පිරිසක් මෙතැනට එන්න බලාගෙනත් ඉන්නවා. මට ඒක කියන්න පුළුවන්.

ප්‍රශ්නය – සිදු වෙන දේ මගින් තත්ත්වය උග්‍ර බව පැහැදිලියි. මහින්ද පාර්ශ්වයට වඩා මෛත්‍රී පාර්ශ්වය ශක්තිමත් යැයි ඔබ හිතනවාද?
පිළිතුර –  ඉතාමත් පැහැදිලි ලෙස මෛත්‍රී පාර්ශ්වය මහින්ද පාර්ශ්වයට වඩා දැන් බලවත්. අපි මෙච්චර දවස් මේවා ගැන කතා නොකළේ ශ්‍රීලනිපයේ සියලු දෙනාම එක තැනකට ගේන්න අපි බලාපොරොත්තු වූ නිසයි.

තවමත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ බලාපොරොත්තුව සියලු දෙනා එක නිවහනකට ගෙන ඒමයි. ඔය කණ්ඩායම අතරෙත් දැන් ප්‍රශ්න මතුවෙලා. මොකද අලුතින් පක්ෂයක් හදලා ඒ පක්ෂෙට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ රූපෙ භාවිතා කරමින් සාමාජිකයන් බඳවාගනිමින් නොයෙකුත් වැඩ කරගෙන යනවා. එක පක්ෂෙක ඉන්න ගමන් තවත් පක්ෂෙක ප්‍රවර්ධන වැඩ කරනවා නම් ඔවුන් අයත්වන්නේ දෙවැනි කී පක්ෂයටයි. හැබැයි පුදුමෙ කියන්නෙ තාමත් ඒ අය කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් ගැන වීමයි.
ප්‍රශ්නය – අවසානයේදි අර්බුදයට යන්නේ පාක්ෂිකයා නේද?
පිළිතුර – ගමේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට දැන් මේක තේරෙනවා. අපි වෙන පක්ෂෙකට බැඳුණාම තවත් පක්ෂෙකට අයිතිවාසිකම් කියන්න බෑනෙ. මේ අයට ගමට ගියාම මේ ප්‍රශ්නෙ විසඳාගන්න වෙනවා. මේ පණිවුඩය අපි ගමට ගෙනිච්චාම මෛත්‍රී පිල තවත් ශක්තිමත් වෙන්නෙ කොහොමද කියලා ඉදිරියේදි බලාගතහැකියි. ඒ නිසා අපි ඔවුන්ට පැහැදිලිව කියන්නේ තමන් වෙනත් පක්ෂයක් නියෝජනය කරනවා නම් ඒක පැහැදිලිව කියන්න කියලයි. මේක කියන්නෙ නැත්තෙ ඇයි? ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනතාව දෙන තීන්දුව අනුව ඒ අයට තමන්ගෙ නිවැරැදි තක්සේරුව හදාගන්න පුළුවන්.

ප්‍රශ්නය – නව ව්‍යවස්ථාවට අදාළ ශ්‍රීලනිප විකල්ප යෝජනා ඇතුළත් වාර්තාව පහුගිය දා පාර්ලිමේන්තුවට බාරදුන්නා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට වගේම ජනමත විචාරණයකට යන්නටත් පක්ෂය විරුද්ධයි. එතකොට පොදු අපේක්ෂකයා ජනතාවට කිව්වේ අසත්‍ය ද?
පිළිතුර –  විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දුන් පොරොන්දුව බොරුවට කී කතාවක් නෙවෙයි. ඒක පැහැදිලිව ජනතාවට දුන් පොරොන්දුවක්. එතුමා බලයට පත්වෙලා දින සීය ඇතුළත බලය අඩු කළා. පසුව එය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගියාම තීන්දුව වුණේ ජනාධිපතිවරයාට හිතෙන හිතෙන හැටියට එහෙම බලය අඩුකරන්න බෑ කියලයි. එතැනින් එහාට බලය අඩුකරනවා නම් ජනමත විචාරණයකට යා යුතු බවයි. එනිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට උත්සාහ කළේ නෑ කියලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඇඟිල්ල දිගු කිරීමට කාටවත් බෑ. නමුත් ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරද්දී අපිට 13 වැනි සංශෝධනය ගැනත් කතාකරන්න වෙනවා. සියලු ජාතින් එකමුතු වූ රටක් වෙනුවෙන් සංශෝධන කරන්න වෙනවා. එහිදී පළාත් සභාවලට පූර්ණ බලතල ලබාදීම ගැන සාකච්ඡා කරනවා.

පළාත් සභාවලට පූර්ණ බලතල දෙන්නේ විධායක ජනාධිපතිවරයකු සිටින නිසාය යන්න අධිකරණ තීන්දුවයි. එහෙම නම් පළාත් සභාවලට පූර්ණ බලතල දෙනවා නම් ඒවා පාලනයට විධායක ජනාධිපතිවරයකු සිටිය යුතුයි. ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දුවක් දුන්නා වගේම ඒ ප්‍රකාශයට අදාළව සාධාරණ උත්සාහයක් ගනිමින් ඊට මූලික අඩිතාලම දැම්මා.

ප්‍රශ්නය – ඒ කියන්නෙ පක්ෂයෙ මතය විධායක ජනාධිපතිවරයකු අවශ්‍යයි යන්නද?
පිළිතුර – විධායක බලතල සියල්ල තිබිය යුතු යැයි අපි කියන්නේ නෑ. පළාත් සභා පාලනයට අවශ්‍ය මට්ටමේ බලයක් ජනාධිපතිවරයාට තිබිය යුතුයි.

ප්‍රශ්නය – පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට මුල් වූ රාජිත සේනාරත්න, රවි කරුණානායක, දුමින්ද දිසානායක ආදී පෙරටු බලඇණියට මේ වනවිට විවිධ චෝදනා එල්ල වෙනවා. සමහරුන්ට ඇමැතිකමුත් අහිමි වෙලා. වෙනසට කැප වූ අයට මේ මොකද වෙන්නේ?
පිළිතුර – මහ බැංකු ප්‍රශ්නය පිළිබඳ රටේම අවධානය යොමු වුණා. කවුද හරි කවුද වැරැදි මොකද්ද වුණේ කියලා අවසානයේදී පැහැදිලි වේවි. ආණ්ඩුවට එල්ල වූ චෝදනාවලදී ආණ්ඩුව හැසිරුණු ආකාරය ගැන අපි සතුටු වෙනවා. කොහොම වුණත් මේ වෙනසට මුල් වෙච්ච නිසාම අපිත් එක්ක හතුරු වූ පිරිසක් ඉන්නවා. මම බැණුම් අහන ගොඩනැගිල්ල මගේ අවශ්‍යතාවයකට මගේ අමාත්‍යංශය මාරු කිරීමක් නෙවෙයි. පාර්ලිමේන්තුවට අලුත් කාරක සභා බිහිකිරීම එක්ක පාර්ලිමේන්තුවට ඉතාම ආසන්න බිල්ඩිම තෝරාගෙන මට වෙන තැනකට යන්න කිව්වාම යන්න වෙනවා. අමාත්‍යංශයක අවශ්‍යතාව සපුරාගෙන තමයි යන්න වෙන්නේ. ගොඩනැගිල්ලක් දුන්නාම ඒක හදාගන්නතුරු කියලා කාගෙන්වත් කුලිය අය නොකර ඉන්නේ නෑ. මේ දේශපාලනයේ තිබෙන කැතකම නිසා මේවා දැන දැනම වුණත් මඩ ගැසීම් වෙනවා. හැබැයි අපි ඒ සියලු දේවල්වලට මුහුණ දෙන්න ලෑස්තියි.
ප්‍රශ්නය – හැබැයි ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ මේ ඇමැතිවරුන්ටත් ආණ්ඩු වෙනස් වෙච්ච කාලෙක එෆ්.සී.අයි.ඩී ගානේ යන්න වෙයි කියලයි. එහෙම යන්නත් ලෑස්ති ද?
පිළිතුර – ඒක ඒකාබද්ධ විපක්ෂය කියන්න ඕනෑ නෑ. මමත් කියනවා. හොරකමට තිත තියන්න ඕනෑ යැයි අපි කිව්වේ මේ ආණ්ඩුවේ අයටත් එක්කයි. දේශපාලකයන්ටවත් නිලධාරින්ටවත් කාටවත් හොරකම් කරන්න බැරි ක්‍රමවේදයක් හදන එක තමයි අපේ වගකීම. ඒක කවුරුවත් අපිට මතක් කරන්න ඕනෑ නෑ.

ප්‍රශ්නය – තමන් තවමත් ශ්‍රීලනිප සභාපති යැයි මහින්ද රාජපක්ෂ මහතා කියනවා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරි මණ්ඩලය හරියට පත්වුණාද?
පිළිතුර – ශ්‍රීලනිප නිලධාරි මණ්ඩලය සීයට සීයක් නිවැරැදිව හා නීත්‍යනුකූලව තමයි පත්වෙලා තිබෙන්නේ. සියලුම නිලධාරින් පක්ෂයේ විධායක සභාවෙන් අනුමත වෙලා තිබෙනවා. ඒ වගේම පක්ෂයක නිලධාරි මණ්ඩලයේ හැමදාම එකම පිරිසක් සිටිය යුතු නෑ. ශ්‍රීලනිපයේ ගත්තොත් ශ්‍රීලනිපය නායකයොත් එක්ක වයසට ගිහින් මැරෙන්න බෑනෙ. එය සංවර්ධනය විය යුත්තේ අතීත වැරැදි නිවැරැදි කරගෙන වර්තමානයට ගැලපෙන අනාගතයට සූදානම් පක්ෂයක් විදියටයි. ඒ සඳහා ජ්‍යෙෂ්ඨයන් තරුණයන් ඇතුලු සියලුම දෙනා තනතුරු නියෝජනය කළ යුතුයි. රටේ සිදු වූ දේශපාලන වෙනස අනාගතයේදිත් යථාර්ථයක් වීම සඳහා පක්ෂයත් දවසින් දවස අලුත් විය යුතුයි.

ප්‍රශ්නය – ඔබ කියන මෛත්‍රී පාර්ශ්වයේ සිටින ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාම කිව්වේ මහා සභාවේ යෝජනාවක් නැතිවම ඔබ ලේකම් තනතුරට පත් වුණා කියලයි.?
පිළිතුර – ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා එවැනි ප්‍රකාශයක් කරනු මාත් දුටුවා. හැබැයි මේ පත්කිරීම් කළ විධායක සභාවේ එතුමාත් සිටියා. අමතක වෙලා වෙන්න ඇති එතුමාට. මොකද මමයි තාම සභාපති කියලා මහින්ද රාජපක්ෂ මහත්තයත් කියනවනෙ.

ප්‍රශ්නය – ඩිලාන් පෙරේරා කියන්නෙ පක්ෂයෙ මාධ්‍ය ප්‍රකාශකවරයා. ඔහුටත් අමතක වෙලාද?
පිළිතුර – මම පක්ෂෙ ලේකම් හැටියට ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දෙන්නේ නෑ. මොකද ඇතුලෙ කතා කළ යුතු දේවල් කෙනෙක් එලියෙ කතා කළා කියලා ඒකට තවත් දේවල් කියන්න ගියාම පක්ෂෙ නිවැරැදි වෙන්නෙ නෑනෙ.

ප්‍රශ්නය – ගෙයි ගින්දර පිටතට නොදිය යුතුයි. එහෙමද?
පිළිතුර – නැහැ. කිසිම ගින්දරක් නෑ. ජනප්‍රිය වෙන්නත් දේවල් කියවනෙ. ඒවාට උත්තර දෙන්න අවශ්‍ය නෑ. ඒකයි මම කියන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *