යාපනයේ සිංහල සිසුන්ට පහර දීම

maxresdefaultයාපනයේ සිංහල ශිෂ්‍යයින්ට පහර දීම ඉදිරි දේශපාලන වර්ධනයන් සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක වන බව මගේ අදහසයි. මේ පහර දීම සාමාන්‍යෙයන් විශ්වවිද්‍යාල වල ඇතිවන ශිෂ්‍ය ගැටුමක් ලෙස තේරුම්ගත හැකි වුවද මේ පහරදීම පසුපස දෙමළ සමාජය තුළ ඇති සිංහල විරෝධී හැගීම් තීරණාත්මක සාධකය වී ඇති බව පැහැදිළිය. ඒ නිසා එය වාර්ගික ගැටුමක් ලෙස තේරුම් ගත යුතුය.

මේ පහරදීම පිළිබදව දකුණේ සිංහල ජාතිකවාදී බලවේග සතුටින් පිනා ගොස් ඇති බව මහින්ද රාජපක්ෂගේ හා විමල් වීරවංශගේ කතාවලින් පැහැදිළි වේ. මගේ පොදු නිරීක්ෂණයෙන්ද මා යාපනය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන්ට කතාකොට ලබාගත් තොරතුරු වලින්ද මට තේරුම් ගොස් ඇත්තේ මේ පහර දීම පසුපස ඇති මානසිකත්වය පන ගැන්වෙන්නේ යාපනය තුළ වර්ධනය වෙමින් පවතින දෙමළ අන්තජාතිකවාදී හැගීම් වලින් බවයි.

සාමාන්‍ය වශයෙන් යාපනය විශ්වවිද්‍යාලයට සිංහල සිසුන් පැමිණීම දෙමළ දේශපාලන මනස තුළ සටහන් වන්නේ යාපනයේ දෙමළ සමාජයවෙත කෙරෙන සිංහල ආක්‍රමණයක් ලෙසයි. ගැටුමට මුල් වී ඇති විශ්වවිද්‍යලයේ උත්සවයක් සදහා උඩරට නැටුම් භාවිතා කරන්නැයි සිංහල සිසුන් කර ඇති ඉල්ලීමද මේ ආකල්පය සාධාරණීකරණය කරන්නකි.

මෙය යාපනය කරාවූ සිංහල-බෞද්ධ වන්දනා නඩ සම්බන්ධයෙන්ද ඇති හැගීමකි. මා යාපනයේ සිංහල ශිෂ්‍ය සංගමයේ අය සමග අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමි. ඒය ඒ තරම් දේශපාලන වශයෙන් සැලසුම් සහගත ලෙස සිංහල ජාතිකවාදී ව්‍යාපෘතියක නියැලෙන බවක් මට පෙනී ගියේ නැත. ඒ අයට සිංහල ශිෂ්‍ය සංගමයක් පිහිටුවීමට ඇති උනන්දුවද තේරුම් ගත හැක්කකි. කෙසේ වෙතත් මේ සිංහල සිසුන් දකුණෙ සිංහල ජාතිකවාදී දේශපාලය තුළ ස්ථානගත වන්නේ යුද්ධය පැවැති කාලයේ ඊනියා මායිම් ගම්මාන වල සිටි සිංහල ජනයා දකුණේ සිංහල දේශපාලන මනස තුළ ස්ථානගත වූ ආකාරයටයි.

ඒ අනුව දේශපාලන වශයෙන් ගත්කල යාපනයට සිංහල සිසුන් යාම දකුණේ ජනයාට අර්ථවත් වන්නෙ සංහිදියා ක්‍රියාවලියක කොටසක් ලෙස නොවේ. උතුරේ සිංහල උරුමය යලි ස්ථාපිත කිරීමේ අත්‍යාවශ්‍ය පියවරක් ලෙසටයි. එය සිංහල සාමන්‍ය මනස තුළ තුළ ප්‍රක්ෂෙපණය වී ඇත්තේ “දකු‍ෙණ් විශ්වවිද්‍යාලවල දෙමළ සිසුන්ට ඉගෙනගත හැකිනම් උතුරේ විශ්වවිද්‍යාලවල සිංහල සිසුන්ට ඉගෙනගත නොහැකි මන්ද” ලෙසිනි. මාහිතන විදිහට මෙය සාධාරණ ආකල්පයකි. නමුත් දේශපාලන වශයෙන් ගත් කළ තත්වය ඊට වඩා සංකීර්ණ එකකි. යුද්ධයෙන් පසු සිංහල සිසුන් යාපනය විශ්වවිද්‍යාලයට යාම 1970 ගණන්වල සුචරිත ගම්ගත් ධර්මසේන පතිරාජ සුනිල් ආරියරත්න වැනි අය කතිකාචාර්යවරු ලෙස යාපනය විශ්වවිද්‍යාලයට යාමෙන් වෙනස්ය.

කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය මේ සම්බන්ධව ගෙන ඇති ස්ථාවරය අගය කළ යුත් එකකි. කෙසේ වෙතත් මෙය සිදුවීම මෙතනින් නවතින සිදුවීමක් ලෙස තේරුම් ගත නොහැක. විශේෂයෙන්ම විශේෂයෙන්ම මෙම තත්වය උතුරේ රැඩිකල් දෙමළ ජාතිකවාදයට මෙන්ම දකුණේ සිංහල ජාතිකවාදී දේශපාලන කදවුරටද බෙහෙවින් වාසිදායකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *