ලලිත් හා අනූෂගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්

විදුලි සන්දේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදනවලට පටහැණි අකාරයට කටයුතු කර රුපියල් කෝටි 60ක මුදලක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල්රෙදි බෙදාදීමේ චෝදනාවන්ට වරදකරුවන් කොට ඔවුන්ට රුපියල් ලක්‍ෂ 20 බැගින් දඩ සහ රුපියල් කෝටි 5බැගින්වන්දි නියම කරමින් කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් නියෝගය ඉවත දමා ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් දෙදෙනා නිදහස්කරන්නැයි ඉල්ලමින් ඊයේ (11දා)අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කෙරිණි.

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් නීතිඥ නිරෝෂන් සිරිවර්ධන හා නීතිඥ යසිදු ලොකුනාරංගොඩගේ යන මහත්වරුන් මගින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

විදුලි සන්දේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදනවලට පටහැණි අකාරයට කටයුතු කොට රුපියල් කෝටි 60ක මුදලක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල්රෙදි බෙදාදීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනාරාල් අනූෂ පැල්පිට මහත්වරුන්ට වසර තුන බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා, පසුගිය 07 වැනිදා ඔවුන්ට රුපියල් ලක්‍ෂ 20 බැගින් දඩ නියම කෙරිණි.

මෙම සිද්ධියෙන් රටට රුපියල් කෝටි 60ක පාඩුවක් වී ඇතැයි සඳහන් කරමින් විත්තිකරුවන්ට රුපියල් කෝටි 10ක වන්දි මුදලක්ද ගෙවීමට විනිසුරුවරයා නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරයාගේ එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන පෙත්සම්කරුවන්, ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම්වල මහාධිකරණය හමුවේ විභාග කෙරුණු නඩුවේදී තමන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණු නිසි පරිදි සැලකිල්ලට ගෙන නොමැති බවත්, තම සේවාදායකයන් මෙම සිද්ධියට පාදක වූ සිල්රෙදි ඔවුන්ගේ පාවිච්චියට ගෙන නැති බවත් සඳහන් කර ඇත.

උගත් මහාධිකරණ විනිසුරුවරයා තමන් වැරදිකරුවන් කරමින් හා ඊට සිරදඬුවම්, දඩ හා වන්දි නියම කරමින් දුන් තීන්දුව නීතියට, නීතිමය සිද්ධාන්තයන්ට හා නිශ්චිත නඩු තීන්දුවලට සම්පූර්ණයෙන්ම පටහැණි මෙන්ම මෙම තීන්දුව මහාධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූසාක්‍ෂි මත එළැඹිය හැකි තීන්දුවක් නොවන බව සඳහන් කරන පෙත්සම්කරුවන්, නඩුවක චෝදනා ඔප්පු කිරීමේ බාරය හා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීම පැවැරී ඇත්තේ පැමිණිල්ල මත බව තේරුම් ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා අපොහොසත් වී ඇති බවද සඳහන් කර ඇත.

පරිවේෂණීය සාක්‍ෂි මත පදනම් වූ නඩුවකදී පැමිණිල්ල සතු  කාර්යය තේරුම් ගැනීමට මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වූ නඩුවකදී පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු අත්‍යවශ්‍ය අංග මොනවාද යන්න පිළිබඳ උගත් මහාධිකරණ විනිසුරුවරයා තේරුම් ගෙන නැතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ, දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ වූ නඩුවකදී ඔප්පු කළ යුතු අත්‍යවශ්‍යම අංගය වූ‘සාවද්‍ය මනස හෙවත් %වංක චේතනාව’ ඔප්පු කිරීමට මෙම නඩුවේදී පැමිණිල්ලෙන් කිසිදුසාක්‍ෂිකරුවෙකු ඉදිරිපත් කර නොමැති බව තේරුම් ගැනීමට උගත් මහාධිකරණ විනිසුරුවරයා අපොහොසත් වී ඇති බවද සඳහන් කොට සිටිති.

මෙම නඩුවේදී ඉදිරිපත් වූසාක්‍ෂි නිසි ලෙස විශ්ලේෂණය කිරීමට උගත් මහාධිකරණ විනිසුරුවරයාට හැකියාවක් ලැබී නැතැයි සඳහන් කරන පෙත්සම්කරුවන්, උගත් මහාධිකරණ විනිසුරුවරයා තමන් වැරදිකරුවන් කරමින් හා ඊට සිරදඬුවම් දඩ හා වන්දි නියම කරමින් දුන් තීන්දුව නීතියට මුළුමනින්ම පටහැණි බවත් එය නීතිය ඉදිරියේ මුළුමනින්ම නීතිවිරෝධී හා නිරර්ථක නඩු තීන්දුවක් බවද සඳහන් කර ඇත.

මෙම හේතූන් මත තමන්ට දඬුවම් නියම කොට ඇති හෙයින් මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය ඉවත දමා තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ, මෙම පෙත්සමෙන් තමන් ඉල්ලා ඇති සහනයන්ට අමතරව අධිකරණයට ලබාදිය හැකි වෙනත් සහනයන්ද තමන්ට ලබාදෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිති.

මෙම නඩුවේදී ඉදිරිපත් වූසාක්‍ෂි නිසි ලෙස විමසා බැලීමකින් තොරව විනිසුරුවරයා අදාළ තීරණය දී ඇති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ, මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව ඉවත දමා තමන් මෙම චෝදනාවන්ගෙන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *