විස්ස විසිවේ

(UPDATE) සියලුම පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයකදී පැවැත්වීමට අදාළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ අදහස ආණ්ඩුව විසින් අත්හැර දමා ඇති බව වාර්තා වෙයි.

එය අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එය සම්මත කර ගැනීම සඳහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට නිති වේදීන් රජය දැනුම් දීම හේතුවෙන් මෙසේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස ආණ්ඩුව අත්හැර ඇති බව වාර්තා වෙයි.


සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට අදාළව ලබන බදාදා (20දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව මගින් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට එදින පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්යය කර ඇති අතර, මැති ඇමැතිවරුන්ට පිටරට යාමද තහනම් කර ඇති බවට වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය ඇමැතීමට අද (17) ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති අතර, ලබන බදාදා පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්යය කර ඇති බැවින් ආණ්ඩු පක්ෂයේ කිසිදු මැති ඇමැතිවරයෙකු මෙම සංචාරයට සහභාගි නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ලබන බදාදා පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්ය කර ඇති බවට පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලය ඔවුන්ට ලිඛිතව දන්වා යවා ඇති බවටද වාර්තාවේ.

පළාත් සභාවල මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුතින් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වේ.

පළාත් සභාවල මැතිවරණය ලබන 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර පැවැත්විය යුතු බවට වන යෝජනාවක්ද එම සංශෝධන අතර වන බවට පැවසේ.

මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම සඳහා ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමගද සාකච්ඡා කර ඇති බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත අතර, එය නියමිත නිල කාලය අවසන් වන තෙක්ම පවත්වාගෙන යාමට ඉඩදිය යුතු බවට වන යෝජනාවක් දෙමළ ජාතික සන්ධානය මගින් ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති බවටද වාර්තාවේ.

එම යෝජනාව පිළිගන්නේ නම් 20 වැනි සංශෝධනයට සහාය දීම පිළිබඳව සලකා බැලීමට සූදානම් බව දෙමළ ජාතික සංන්ධානය ප්‍රකාශ කර ඇති බවටද පැවසේ.

අගලකඩ – අජන්ත කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *