ශිරන්තිට සිංහල බැහැ – නීතිඥයාට එන්න කියයි

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතවී  ඇත. 2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජයග්‍රහණනය කළ එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව යහපාලන ජාතික ආණ්ඩුව නිර්මාණය කළ අතර, එම ආණ්ඩුවට අද වනවිට වසර දෙකක් සම්පූර්ණ වී තිබේ. නව ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි 08 වැනිදා බලයට පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිණ වසර දෙකහමාරක් ගතව ඇත.

ලක්ෂ හැටදෙකක මනාප ප්‍රමණයකින් ජනාධිපති ධුරයට පත්වූ ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ලක්ෂ හැටදෙකක ජනතා ඉල්ලීම් පසෙකලා කටයුතු කරන බවට චෝදනා කරමින් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු යළි ආණ්ඩුවට පසක්කර දීමට කොළඹදී සත්‍යග්‍රහයක් පැවැත්වුණේද ආණ්ඩුවේ සංවත්සරය නිමිති කර ගෙනය.

අඟහරුවාදා පැවැති මෙම සත්‍යග්‍රහයට ආණ්ඩුව බලයට පත්කිරීමට පෙරට පැමිණි සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මහජනතාව ඇතුළු පිරිසක්ද එක්වූහ.

වසර දෙකහමාරක් පුරා ආණ්ඩුව සිදුකළ දේ මතක් කර දෙමින් සත්‍යග්‍රහය ආරම්භ විය. ආණ්ඩුව සිදුකළ දේ අතර, බියෙන් තොර නිදහස් සමාජයක් බිහිකිරීම, ජනාධිපති බලතල අඩු කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන්  සභා ස්ථාපිත කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතියි තහවුරු කිරිම, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය තහවුරු කිරීම ආදිය පැවසූ ඔවුහු ආණ්ඩුව මෙතෙක් නොකළ නමුත් කළ යුතු දේ මතක් කර දෙමින් සත්‍යග්‍රහය පවත්වන්නට යෙදුණහ.

කළ යුතු දේ අතර වූයේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂිතයන් හා අපරාධකරුන් නීතිය ඉදිරියට පැමිණ වීම, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීම, දූෂිතයන්ට හා අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම, ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත අහෝසි කර රටට ගැළපෙන නව පනතක් සකස් කිරීම ආදියයි.

අපේ රතු කට්ට පැනලා තියෙන්නෙ 

සත්‍යග්‍රහයට එක්වෙමින් දඹර අමිල හිමි පැවසුවේ, ආණ්ඩුව දැන් වේගවත්ව ගමන් කිරීමට කාලය එළැඹ ඇති බවයි.

”ජනාධිපතිවරයා අවුරුදු දෙකහමාරක්, අගමැති අවුරුදු දෙකක් මන්දගාමීව ගියා ඇති. දැන් ශීඝ්‍රගාමීව ගමන අරඹමු. ඒ සඳහා සූදානම් වෙන්න කියලා තමයි අපි කියන්නෙ. දැන් මහජනයාගේ රතු කට්ට පැනලා තියෙන්නෙ. ඒ බව තේරුම් ගෙන ඒකාබද්ධ විපක්ෂ කල්ලියට බිය නොවී ඔවුන්ගේ අසාර්ථක ප්‍රයන්ත හමුවේ ආපසු නොහැරී ආණ්ඩුව ගමන් කළ යුතුයි.

දූෂණ වංචා පරීක්ෂණ බය නැතුව සිදුකරන්න. බය වෙන්න එපා. අපි පැරද්දුවේ මහ රජෙක් කියලා හිතාගෙන හිටපු කෙනෙක්. ඒ නිසා බය නැතිව තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න. විශේෂ අධිකරණයක් පත්කරලා හරි මේ නඩු ටික අහලා මේවා ඉවර කරන්න. තවත් කල්දාන්න නම්, හිතන්න එපා” ඔවුහු ආණ්ඩුව පැවසූහ.

භාවනාවෙන් පසු ව්‍යායාම

පොලිස්පති පූජිත සම්බන්ධයෙන් යළිත් කතාබහක් ඇතිව තිබෙන්නේ පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුගේ කමිස කොලරයෙන් ඇද බැණ වදින සිදුවීමක් සහිත වීඩියෝවක්  සමාජ මාධ්‍ය හරහා පැතිරීමත් සමගය.

මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදී පමණය. එවකට වෙබ් මාධ්‍යයන් තුළ මේ පිළිබඳ පුවත සඳහන් වුවද සියල්ලන්ගේම අවධානය යොමුවූයේ අල්ප වශයෙනි. නමුත් දින කිහිපයට ප්‍රථම මෙම වීඩියෝව නිකුත් වීමත් සමග මේ පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය විය.

සියලුම පොලිස් ස්ථාන තුළ උදෑසන ජාතික ගීය, පොලිස් ගීත වාදනය කිරීමෙන් අනතුරුව මානසික ඒකාග්‍රතාව ඇතිකර ගැනීම සඳහා මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරන ලෙස පොලිස්පතිවරයා ඉහළ පොලිස් නිලධාරීන් හරහා සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී තිබුණේ කාලයකට ඉහතදීය.

මෙම පහරදීම සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වූයේ සතියේ කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේදීය.

සම කැබිනට් ප්‍රකාශකවරුන් සමග පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරද එයට සහභාගි වී සිටි බැවිනි.

මාධ්‍ය හමුව ආරම්භයට ප්‍රථම ඇමති දයාසිරි, රුවන් ගුණසේකරට පවසා තිබුණේ පොලිස්පතිවරයාගේ මෙම සිදුවීම වැරදි ක්‍රියාවලියක් බැවින් මේ පිළිබඳ මාධ්‍ය හමුවේදී කරුණු  කියන බවයි.

නමුත් එහිදී රුවන් එය නොකරන ලෙස ඉල්ලා ඇත.

”මේ ප්‍රශ්නෙ නිසා අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. ඇමතිතුමා මේක අදින්න එපා” ඔහු පැවසීය.

ඇමති රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවට සහභාගි වූයේ තරමක් ප්‍රමාද වීමෙනි. එබැවින් ඔහු මෙම එකඟතාව පිළිබඳ දැනුවත්ව නොසිටි අතර, බලාපොරොත්තු නොවූ ආකරයට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සිදුවීම කතාබහට ලක්විය.

මෙම වීඩියෝව නිකුත් වූ පසු පොලිස් මූලස්ථානයේ ලොකු ලොක්කන් සාකච්ඡා කර එකඟතාවට පැමිණ සිටියේ මෙම වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව පවසමින් එය ප්‍රතික්‍ෂේප කිරීමටය.

නමුත් රුවන් ගුණසේකර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේදී මෙය සත්‍ය වීඩියෝවක් බවට පිළිගත් බැවින් පොලිස් ලොක්කෝ සියල්ලෝම අසරණ වූහ.

”මෙයා හොඳට නාගත්තා” යැයි ඔවුන් රුවන් ගුණසේකරට පැවසුවේ සිදුකළ හැකි කිසිවක් නොමැති තැනය.

විමර්ශන කරන්න අපට බැහැ

මේ අතර පොලිස්පතිවරයාගේ විනය සම්බන්ධ කාරණයක් ගැන විමර්ශනය කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට හැකියාවක් නැතැයි එහි ලේකම් ආරියදාස කුරේ පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීමෙදී ඔහු මේ බව කියා සිටියේය. එබැවින් පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුගේ කමිස කොලරයෙන් ඇද බැණ වැදුණැයි කියන සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවෙන් විමර්ශනයක් සිදුනොවන බවද කීවේය.

ජාතික පොලිස් කොමිෂන් සභාවට බලය ඇත්තේ පොලිස්පතිවරයා හැර සෙසු නිලධාරීන්ගේ විනය සම්බන්ධ ක්‍රියා ගැන සොයා බැලීමට බවත්, පොලිස්පතිවරයා පත්කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් බවත්, පොලිස්පතිට චෝදනා පත්‍රයක් දීමට හෝ කොමිසමට බලයක් නොමැති බවත් ආරියදාස කුරේ පැහැදිලි කළේය.

පොලිස්පති ඉල්ලා අස්වෙයිද?

පොලිස්පතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය ලක්ව ඇති අතර, බොහෝ නීතිඥයන් පවසන්නේ වධහිංසා පනත යටතේ මෙම සිදුවීමට නඩු පැවරිය හැකි බවයි. එබැවින්  පොලිස්පති පූජිත වහාම ඉල්ලා අස්විය යුතු අතර, එය මේ අවස්ථාවේ සුදුසු පියවර ලෙසද ඔවුහු පෙන්වා දෙති.

ඒ සඳහා පැරණි පූර්වාදර්ශයක්ද පොලිස්පතිවරයාට මෙම පිරිසක මතක් කර දී ඇත.

පොලිස්පති පූජිත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරන සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට නිවසක් සෝදිසි කර ඇත. එම සෝදිසි කිරීමේදී එවකට පොලිස්පති ආනන්ද රාජා සමග මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග ගත් ඡායාරූපයක් සමාජගත වී ඇත.

මෙම සිදුවීමෙන් පසු එවකට පොලිස්පති ආනන්ද රාජා ඉල්ලා අස්වූ අතර, පූජිතට එයම පූර්වාදර්ශයක් කරගත හැකිය.

කිසිම දේශපාලන කප්පාදුවක් නැහැ 

එවිට ඇමති කබීර් හෂීම් කියා සිටියේ එවැනි කප්පාදුවක් සිදුව ඇති බවයි.

විෂයය භාර අමාත්‍ය එස්.බී. දිසානායක එවිට පැවසුවේ, ”දේශපාලන වශයෙන් කිසිම කප්පාදුවක් කරලා නැහැ. පරිගණක විශ්ලේෂණයක දී ඇති වූ ගැටලුවක් මෙයට හේතු වුණා”

එස්.බී. ගේ අදහස් දැක්වීමෙන් පසුව ජනාධිපතිවරයා පැවසුවේ සමෘද්ධි කැබිනට් අනුකාරක සභාව මගින් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව අවසන් තීරණයක් ගත යුතු බවයි.

පරීක්ෂණ මන්දගාමියි – අපිට පාරෙ බැහැල යන්න බැහැ

කැබිනට් මණ්ඩලය උණුසුම් වන කතාබහ ඇති වුයේ ඉන් අනතුරුවයි. පසුගිය රජයේ ප්‍රධානීන් විසින් සිදුකර ඇති වංචා දූෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳව රට තුළ ආන්දෝලනයක් මතුව ඇති බව ඇමති  ගාමිණී ජයවික්‍රම පෙරේරා පෙන්වා දුන්නේය.

”පසුගිය රජයේ දූෂණ වංචා ගැන පරීක්ෂණ ප්‍රමාදයි. මේ ගැන රටේ ආන්දෝලනයක් ඇතිවෙලා තිබෙන්නේ. පරීක්ෂණ සිදුවෙන්නේ මන්දගාමීව. මේ නිසා ගැටලු රැසක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේකට මොනවා හරි කරන්න වෙනවා”

ඊට පිළිතුරු ලබාදුන්නේ ඇමති සාගල රත්නායකයි.

”එම පරීක්ෂණ වල ප්‍රගතිය මම ඉදිරිපත් කරනවා. ඇතැම් පරීක්ෂණ සදහා දීර්ඝ කාලයක් ගත වෙනවා. මනුෂ්‍ය ඝාතන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණ වාර්තා අස්ථානගත වී තිබුණා. එම නිසා පරීක්ෂණ මුල සිටම කිරීමට සිදුවුණා. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ලිපිගොනුත් අස්ථානගත වී තිබුණා. එනිසා ප්‍රමාදයක් තිබෙනවා. වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවූවා.”

ඉන්පසු අදහස් දැක් වූ ඇමති දුමින්ද දිසානායක පැවසුවේ

”මේ පරීක්ෂණ කඩිනම් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. එහෙම නැතිව මෙහෙම යන්න බැහැ”

එම අදහස ඇමති මලික් සමරවික්‍රමද අනුමත කළේය. එය අසා සිටි ඇමති මංගල සමරවීර පෙන්වා දුන්නේ,

මෙම පරීක්ෂණ පිළිබඳව මමත් සොයා බැලුවා. පොලීසියට චෝදනා කරල වැඩක් නැහැ. කාලයක් ගත වෙනවා.

ඉන්පසු අදහස් දැක් වූ ඇමති එස්.බී. දිසානායක පැවැසුවේ, ”චෝදනා ගොනුකර පරීක්ෂණ කඩිනම් කිරීම නිසා පසුගිය රජයේ ප්‍රධානීන් බියට පත්ව සිටියා. නමුත් පරීක්ෂණ මන්දගාමී වීම හේතුවෙන් ඔවුන් දැඩි ආත්ම ශක්තියෙන් යුතුව ජනතාව ඉදිරියේ අදහස් පළ කරනවා. එය ගැටලුවක්” යනුවෙනි.

විශේෂ අධිකරණයක් නම් කරමු

සෞඛ්‍ය ඇමති රාජිත ද පසුව කතා කළේ අමනාපයෙනි.

“මම නම් මේ ගැන කතා කරන්න කැමති නැහැ. ඇතිවෙලා තියෙන්නේ. හැමදාම කතා කළා. නමුත් ප්‍රගතියක් නැහැ. මට කියන්න තියෙන්නේ මෙම චෝදනා සහ පරීක්ෂණ පිළිබඳ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන්න අවශ්‍යයි.

ඊට  පස්සේ  නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා නඩු විභාග කඩිනම් කළ යුතුයි. නඩු විභාග කඩිනම් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත් කටයුතු කරන්න වෙනවා. ඒ වගේම  වෙනම ඉහළ උසාවියක් ස්ථාපිත කරලා දිනපතා නඩු විභාග කළා නම් මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්.

කඩිනමින් නඩු විභාග වීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. එම නිසා මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කරන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ”

කතා කර කර ඉඳලා වැඩක් නැහැ – නඩු ඉක්මන් කරන්න

එය අසා සිටි ඇමති සරත් ෆොන්සේකා මහතා පැවසුවේ,

“කතා කර කර ඉඳලා වැඩක් නැහැ. නඩු විභාග කඩිනම් කළ යුතුයි.”

මේ සියල්ල අසා සිටි අධිකරණ ඇමති විජේදාසද හඬ අවදි කළේය.

”ව්‍යවස්ථාවට අනුව විශේෂ අධිකරණ පිහිටුවීමට හැකියාවක් නැහැ. එහෙමනම් ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙනවා. මම නීතිපති ධුරයට පුද්ගලයෙකු පත් කිරීමට සුදානම් වුණා. නමුත් දැන් නීතිපති ධුරයට පත් කළ පුද්ගලයා දුර්වලයි.”

පසුව ජනාධිපති මෛත්‍රී ඇමති තිලක් මාරපනගෙන් විමසා සිටියේ,

“හිටපු නීතිපතිවරයා ලෙස ඔබතුමාගේ අදහස කුමක්ද?” ලෙසයි. එහිදී අදහස් දැක් වූ තිලක් මාරපන පැවසුවේ,

“විශේෂ අධිකරණයක් පිහිටුවනවා නම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතුයි. නමුත් ඉහළ උසාවියක් පිහිටුවා දෛනිකව නඩු විභාග කළ හැකියි. රාජිත සේනාරත්න ඇමතිතුමා ප්‍රකාශ කළ කරුණට මමත් එකඟයි.

මේ පිළිබඳව අගවිනිසුරුවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡා කළ යුතුයි. උදාහරණයක් ලෙස වැට් නඩුව විභාගයට ගත්තේ දෛනිකවයි. ඒ එවකට පැවති රජයේ උපදෙස් මතයි. කඩිනමින් නඩු විභාග අවසන් කළා” යැයි තිලක් මාරපන පිළිතුරු ලබාදුනි.

“අපි නඩු පැවරීමේ කටයුතු කඩිනම් කිරීමේ බලතල සහ ක්‍රියාදාමයන් සකස් කිරීමට තිලක් මාරපන අමාත්‍යවරයාට බලය ලබාදෙමු” යැයි මෙහිදී මලික් සමරවික්‍රම යෝජනා කළ අතර, ඉන්පසු යළිත් අදහස් දැක් වූ තිලක් මාරපන පැවසුවේ “මෙම නඩුගොන්න අතර අනවශ්‍ය නඩුත් තිබෙනවා.

එවැනි නඩු වලින් වෙන්නේ කාලය ගතවීම පමණයි. ප්‍රියංකර ජයරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරුන්ගේ නඩු, බැසිල් රාජපක්ෂ මහතාගේ කැලැන්ඩර නඩුව, සිල් රෙදි නඩුව, එවැනි නඩු වලට උදාහරණ. ඒ නිසා තිබෙන නඩු වලින් 100ක් විතර තෝරාගෙන වැදගත් නඩු කඩිනමින් විභාග කරමු. ඇතැම් නඩු නීතිපතිවරයාට යැවීමේ අවශ්‍යතාවයකුත් නැහැ”

තිලක් මාරපනගේ අදහස් දැක්වීමෙන් පසුව අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ,

”මම මේ මාතෘකාව පිළිබඳ කතා කරන්න කැමති නැහැ. නඩු විභාග ඉක්මන් කළ යුතුයි. කතා කර කර ඉඳලා වැඩක් නැහැ” ලෙසයි.

කෙසේ හෝ අවසානයේ මහාධිකරණයේ එක් අධිකරණයක් විශේෂ අධිකරණයක් ලෙස නම් කිරීමට සියලුදෙනාගේ එකඟත්වය හිමිවුවද මේ පිළිබඳ තීන්දුවක් නොගත් අතර, එය පසුවට කල් තැබිණි.

මහින්ද හතරවෙනි තට්ටුවට

රතු කුරුස සංවිධාන විසින් ‘සිරිලිය සවිය’ වැඩසටහන සඳහා ලබාදෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයේ වර්ණය අවස්ථා දෙකකදී නීති විරෝධී ලෙස වෙනස් කර ඇතැයි යන චෝදනාව මත හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති සහ හිටපු ජනාධිපති පුත් යෝෂිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම පිළිබඳ දැඩි කතාබහට ලක්විය.

මෙම රථය ‘සිරිලිය සවිය’ වැඩසටහනට ලබාදෙන කාලයේ එය සුදු පැහැති වර්ණයෙන් තිබුණද, ඉන් පසු එය නිල් පැහැයටත්, පසුව කළු පැහැයටත් වෙනස් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග මගින් ආනාවරණය විය.

ශිරන්ති සහ යෝෂිත දෙදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූයේ මෙම වර්ණ වෙනස් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමටය.

ශිරන්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමගය. ඔවුන් එතැනට පැමිණෙන  විට ආධාරකරුවන්ගේ උද්ඝෝෂණයක්ද පැවතිණි.

ශිරන්ති සමග මහින්ද අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවටම ගියේ අරක්‍ෂකයන් දෙදෙනෙකුද සමගය. සාකච්ඡා ලබාගන්නා අවස්ථාවේදී ශිරන්ති අසල මහින්දට රැඳී නොසිටින ලෙස නිලධාරීහු ඉල්ලා සිටියහ.

සමෘද්ධි කැපීමේ සමීක්ෂණයට කෝටි 13ක් 

ආණ්ඩුව විසින් සිදුකිරීමට යන සමෘද්ධි කප්පාදුවක් පිළිබඳව පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී විශේෂ අවධානයක් යොමු විය. ආණ්ඩුවේ ඇමතිවරුන් එහිදී කියා සිටියේ සමෘද්ධි කප්පාදුවක් සිදුකිරීමට කිසිසේත්ම ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

නමුත් සත්‍ය තත්ත්වය වූයේ, දේශපාලන බලපෑම් ලෙස ඇතැම් සමෘද්ධි ලාභීන්ගේ දීමනාව අහෝසි කිරීමට ගම්මට්ටමින් වැඩපිළිවෙළක් දියත් වන බවය. මේ සිදුවීමට ආණ්ඩුව අභ්‍යන්තරයේදී බරපතළ විරෝධයක් පැනනැගුණු අතර, ආණ්ඩුව කිසිදු කප්පාදුවක් නොකරන බවට පසුගිය 16 වැනිදා එස්.බී. දිසානායක ඇමතිවරයාට ප්‍රකාශයක් කිරීමට පවා සිදුවිය.

මේ පිළිබඳව සත්‍ය කරුණු සොයා බැලීම සඳහා විජිත හේරත් මන්ත්‍රීවරයා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ ගෙන් විමසීමක් කළේය.

”ඇමතිවරයා මේක සමීක්ෂණ කණ්ඩායමකට භාරදුන්නා. ඇත්තටම ඒ අය කරපු සමීක්ෂණය අනුව සමෘද්ධි කපන්න තමයි දත්ත එකතු කළේ. සමෘද්ධිය කප්පාදු කරන්න පුළුවන් හැමදෙයක් ගැනම හෙව්වා. අන්තිමට පක්ෂවලින්, ජනතාවගෙන් විරෝධය ආවාම ඇමති ඒකෙ වගකීම සමීක්ෂණ කණ්ඩායම පිට පැටෙව්වා. ඇමතිම කිවුවේ සමීක්ෂණ කණ්ඩායම වැඩේ වැරැද්දුවා කියලා.

මේකෙ ලොකුම ප්‍රශ්නය වියදම් කරපු මුදලයි. රු. කෝටි 13ක් සමීක්ෂණයට වියදම් කරලා තියෙනවා. දැන් අන්තිමට ඒ වියදම් කරපු සල්ලි ගඟට කපපු ඉනි වගේ. මේ මුදල් ටිකත් සමෘද්ධි ලාභීන්ට දෙන්න තිබුණ මුදල්” සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා කරුණු විස්තර කළේය.

”මේ මුදල් කාබාසිනියා කරන වැඩවලට ඉඩ දෙන්න හොඳ නැහැ. මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා බලපෑමක් කරන්න  ඕනෑ. මේ ගැන කෝප් කමිටුවෙන් හොයන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා” විජිත හේරත් කියා සිටියේය.

මාත් එක්ක තිබෙන තරහට ගෙන්වලා තිබෙන්නේ

දඹුල්ලේ පැවති දානමය පිංකමකට මහින්ද පැමිණි විට ශිරන්ති රහස් පොලීසියට කැඳවා තිබීම ගැන කෙහෙළිය, සීබී, ඇසූහ.

”නාමල්ට, බැසිල්ට, ගෝඨාභයට එෆ්.සී.අයි.ඩී එකට එන්න කිව්ව වෙලාවේ මම ගියේ නැහැ. හැබැයි මේ පාර ශිරන්තිටයි යෝෂිතටයි, රෝහිතටයි එන්න කියලා තියෙන නිසා මම යනවා. මොකද ඒ අය දේශපාලනය කරන් නෑ. මාත් එක්ක තියෙන තරහකටනේ මේ අය මේ ගෙන්වන්නේ. එහෙම නැතිව වැරැද්දක් කරලා නෙමෙයි. ඒ හින්දා මං අනිවාර්යෙන්ම සී.අයි.ඩී එකටයි ,එෆ්.සී.අයි.ඩී. එකටයි යනවා.” ‘මහින්ද කීවේය.

හොඳ නිව්ස් එකක් හදන්න තිබුණා

ශිරන්ති සමග  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යෑමට අඟහරුවාදා උදෑසන මහින්ද  නිවසින් පිටතට ආවේය. එම ගමනට යෝෂිතද එක්විය. මේ අවස්ථාවේ සිටි සනත් නිශාන්ත  යෝෂිතගෙන් ඇසුවේ ඔයාටත් අද එන්න කියලා තියෙනවද කියාය.

”නෑ මට එන්න කියාලා තියෙන්නේ හෙට” යෝෂිතගේ පිළිතුර විය.“අපරාදේ අද එන්න කියලා තිබුණ නම් හොඳ නිව්ස් එකක් හදන්න තිබුණා. රාජපක්ෂ පවුලේ තුන්දෙනෙක්ම එකම දවසේ උසාවි පොලීසි ගානේ ගෙන්වයි කියලා*මහින්ද  කීවේය.

ශිරන්ති රහස් පොලීසිය ඇතුළට ගිය පසු එළියට එන තෙක් මහින්ද ඇතුළුව මන්ත්‍රීවරුන්, නීතිඥයන් පිරිස එම ස්ථානයේ රැඳීසිටියහ. එම පිරිසට  දුර්ගන්ධයක් දැනෙන්නට විය.

එහෙත් ගීතා කුමාරසිංහ මහින්ද ඇතුළු පිරිස සිනහ ගන්වමින් ඇයගේ අතීත කටයුතු ගැන රස කරමින් කීවේ දුර්ගන්ධය අමතක කරමින්ය. ඇය ඇයගේ දේශපාලන හා සිනමා ජීවිතයේ  රසමුසු තැන් හා අත්දැකීම්  විස්තර කරන්නට විය. පැය තුනක් ගතවුවද මන්ත්‍රීවරුන්ට කාලය නොදැනී තිබුනේ එබැවිණි.

ඔයා ඉතිං බැඳලා නෑ කියන්න එපැයි

අනතුරුව මන්ත්‍රී පිරිස මහින්දගේ නිවසට පැමිණියේ දහවල් ආහාරයටය. ‘මොනවද අද ඇහුවේ ‘කෑම කන අතරතුරදී මහින්ද රෝහිතගෙන් ඇසුවේය. සැටලයිට් එක ගැන තමයි ඇහුවේ. අන්තිමට මට සිද්ධ වුණා අභ්‍යාවකාශ තාක්ෂණය ගැන කියලා දෙන්න” රෝහිත කීවේය.

”මගෙන් නම් මහින්ද බැඳලද ඉන්නේ කියලා ඇහුවා”. ‘මේ කතාබහට ශිරන්ති එක්වෙමින් පැවසූ විට සියල්ලන්ටම හිනා ගියේය. ”ඔයා ඉතිං බැඳලා නෑ කියන්න එපැයි” ‘මහින්ද කී විට පිරිසට තවත් හිනා ගියේය.

ඒකනේ බලන්නකො සර් ඔය විකුණන්න යන්නෙ

සරත් වීරසේකරගේ මෑණියන්ගේ අවමගුල් උත්සවය 16දා තලවතුගොඩ පැවැත්විණි. එම නිවසට පැමිණි මහින්දට නිමල් සිරිපාල මුණගැසුණි. දිනේෂ් ඇතුළු තවත් මන්ත්‍රීවරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ. මහින්ද පුටුවක වාඩිවී සිටිනු දුටු නිමල් ඒ අසල පුටුවකින් වාඩි විය.

”නිමල් ඔයගොල්ලො දැන් එයාර්පෝට් එකත් විකුණනවද” මහින්ද ඇසූ විට ”ඒකනේ බලන්නකො සර් ඔය විකුණන්නනේ යන්නේ” නිමල්ගේ පිළිතුර විය. ”හරි හරි ඉතිං අපි හදපුවා ඔයගොල්ලෝ විකුණන්නකෝ.

මට තියෙන දුක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ජාතික සම්පත් විකුණන තැනක් නෙමෙයි. හැබැයි දැන් මේ ආණ්ඩුවේ ඉන්න අය ඒකත් කරනවා. බලන්නකො අපේ කට්ටියත් විලිලැජ්ජාවක් නැතිව ඉන්නවානේ” අනතුරුව මහින්ද ටිකක් තදින් කීවේය.

මෙතුමාට එතුමියව බාර දීලා තියෙන්නේ

16 රාත්‍රියේ  පැවැති පාකිස්තානු 70 වැනි නිදහස් සමරු උත්සවයට මහින්ද, මලික් සමරවික්‍රම,කරු ජයසූරිය, හිස්බුල්ලා, ජී.එල්. ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙම උත්සවයට චන්ද්‍රිකා බණ්ඩාරනායක පැමිණෙන බවට ආරංචියක් පැතිර ගියේය.

”දැන් චන්ද්‍රිකා ආවම කොහේද වාඩිකරවන්නෙ ‘මහින්දගෙන්  මලික් ඇසීය.” ”මෙතන වාඩිකරවමු” කරු පෙන්වමින් මහින්ද  කීවිට ”ආ ‘ඒක හොඳයි, අපි මෙතුමාට එතුමියව බාර දීලා තියෙන්නේ” මලික් කීවේය.

”ආ ඒක ගොඩක් හොඳයි” මහින්ද කීවේ මලික්ගේ පිටට තට්ටුවක් දමන  ගමන්ය. මෙම උත්සවයෙන් මහින්ද පිටව යන තෙක් චන්ද්‍රිකා සිය වාහනයට වී පැයක් පමණ රැඳීසිට ඇතැයි මහින්දට පසුව ආරංචි විය.

කුණු ආණ්ඩුවක් සමග තවදුරටත් ඉදිරියට යන්න ප්‍රියක් නෑ

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මන්ත්‍රීන්ට ප්‍රකාශ කර ඇත්තේ තනි ආණ්ඩුවක් ගොඩ නැගීමට තමන්ට නොහැකි බවට බොහෝ දෙනෙකු සිතා සිටීම විහිළුවට කරුණක් වන බවයි.

තනි ආණ්ඩුවක් ගොඩනැගීමට සැලසුමක් අවශ්‍ය බව සිය මන්ත්‍රීන්ට පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එලෙස තනි ආණ්ඩුවක් ගොඩ නගන්නේ නම් එය ‘කුණු ආණ්ඩුවක්’ විය නොහැකි බවත්, කුණු ආණ්ඩුවක් සමග තව දුරටත් ඉදිරියට යාමට තමන්ට ප්‍රියක් නොමැති බවත් පවසා තිබේ.

මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක් බිහි කරන්නේ නම් එහි අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට ජනාධිපතිවරයා කිසිදු කැමැත්තක් නොදක්වන බවය.

ඒ අනුව එවැනි තත්ත්වයක් තුළදී අගමැති තනතුරට චමල් රාජපක්ෂ මහතාව නම් කිරීමට ජනාධිපතිවරයා කැමැත්තෙන් පසුවන බවත්, එලෙස තමන් ඔහුව නම් කළහොත් පක්ෂයක් ලෙස චමල් රාජපක්ෂ මහතාට සිය මනාපය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බව මන්ත්‍රීවරු සඳහන් කර සිටිති.

කෙසේ වූවද ශ්‍රී.ල.නි.ප. ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ එළැඹෙන 21 දා සිට 24 අතර කාලය තුළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ස්ථිර වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බවයි.

ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා, විජේදාස රාජපක්ෂ යන නම් එම ලැයිස්තුවේ ඉහළින්ම ඇති බවටද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *