සම්මුති ආණ්ඩුවේ අනාගතයට මොනවත් වෙන්නෙ නෑ

වර්ධනය වෙමින් තිබෙන වැඩවර්ජන රැල්ල හමුවේ ආණ්ඩුවේ පැවැත්මට ඇති අභියෝග, ඒ සඳහා ආණ්ඩුවට ඇති විසඳුම් හා ජාතික රජයේ අනාගතය මේ ආදී තීරණාත්මක දේශපාලන කරුණු කාරණා රැසක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.

 ප්‍රශ්නය – උද්ඝෝෂණ, වැඩවර්ජන හැම තැනම. කොහොමද මේ විදියට ආණ්‍ඩුව ඉස්සරහට ගෙනියන්නෙ?  

පිළිතුර – මෙතන වෙන්නෙ චිත්‍රපටයක් රඟදක්වනවා වගේ වැඩක්. ආණ්ඩුව අපහසුතාවට පත් කරලා ආපහු බලය ලබාගැනීමට තමයි ඒකාබද්ධ විපක්‍ෂය මේ දේවල් කරන්නෙ. ඒකාබද්ධ විපක්‍ෂයට හිතවත් අන්තවාදී සංවිධාන හරහා තමයි ඒ ගොල්ලො මේ උද්ඝෝෂණ ව්‍යාපාර කරවන්නෙ. පහුගිය දවසක සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් ඇතුළත් වෙලා ඒකෙ පරිපාලන ගොඩනැගිල්ලටත් ගියා. එහෙම කළහම ඒ ශිෂ්‍යයන්ව එතැනින් අයින් කළ යුතුයි. ඒක කළාට පස්සෙ ඊට පහුවැනිද‌ා වෛද්‍ය සංගමය වැඩවර්ජනයක් පවත්වනවා. ඒ නිසා මේ හැමදේම සිද්ධ වෙන්නෙ එකම කතිකාවක රඟ දැක්වීම් විදියට. අද රජයට විරුද්ධව උද්ඝෝෂණ කළා කියලා එද‌ා වගේ සුදු වෑන්වලින් උස්සන්නෙ නෑ. අද නිදහස දෝරෙ ගලමින් තියෙන්නෙ.

 ප්‍රශ්නය – ඒ වුණාට උද්ඝෝෂණ කරන පාර්ශ්ව නම් කියන්නෙ ආණ්ඩුව මේ ප්‍රශ්නවලට උත්තර නොදෙන නිසයි මෙහෙම පාරවල් ගාණේ උද්ඝෝෂණය කරන්නෙ කියලා.  

පිළිතුර –  ආණ්ඩුව මේ ප්‍රශ්නවලට දෙන්න ඕනෑ උත්තර දීලා ඉවරයි. රාජපක්‍ෂ ආණ්‍ඩුව කාලේ සයිටම් එක පටන් ගන්න කොට ඔය වෛද්‍ය සංගමය ඒ කාලේ කට වහගෙන හිටියෙ. දැන් කියනවා මේක අපේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් කියලා. සයිටම් එක මේ ආණ්ඩුව පටන් ගත්ත එකක් නොවුණට ඒකට විධිමත්භාවයක් ලබාදීමේ වගකීම අපිට තියෙනවා. මොකද මේ ආයතනයට ඉගෙන ගන්න ඇවිත් ඉන්නෙත් මේ රටේ දරුවෝ. විධිමත් ආකාරයට පෞද්ගලික විශ්‍වවිද්‍යාල හදන එක ප්‍රශ්නයක් නොවෙයි. මේවට විරුද්ධ වෙන අයට තියෙන්නෙ වෙන දේශපාලන න්‍යාය පත්‍රයක් කියන එක ඉතා පැහැදිලියි.

 ප්‍රශ්නය – මේ ප්‍රශ්නය මෙච්චර දිග්ගැහෙන්න හේතුව ආණ්ඩුවට එ් ගැන හරිහමන් ප්‍රතිපත්තියක් නැති නිසා කියල රටේ ජනතාව කියනවා. ඒකෙ ඇත්තක් නැද්ද?  
පිළිතුර – ආණ්ඩුවට ස්ථිර ප්‍රතිපත්තියක් තියෙනවා. ඔය කතාව කියන්නෙ රටේ ජනතාව නොවෙයි. ඒකාබද්ධ කල්ලියයි. ඒ අය බලයට ගේන්න දඟලන කණ්ඩායමයි. ඇත්තටම ඔය කෑගහන කණ්ඩායමටයි ප්‍රතිපත්තියක් නැත්තෙ. ඒ නිසානෙ එයාලගෙ ආණ්‍ඩුව කාලේ පටන් ගත්ත සයිටම් එකට විරුද්ධව අපේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ පාරට බහින්න ගත්තෙ. පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙනුත් පෞද්ගලික විශ්‍වවිද්‍යාල සම්බන්ධයෙනුත් අනුගමනය කරන ප්‍රතිපත්තිය මොකක්ද කියල අපි කියලා තියෙන්නෙ. එහෙම කියලා තියෙද්දීත් මේ අයට ඕනෑ මොකක් හරි අල්ලගෙන පාරට බහින්න. ඔය වැඩවර්ජන කරන වෛද්‍ය සංගමයට මේ රටේ රෝගීන් ගැන කිසි ගාණක් නෑ.
 ප්‍රශ්නය – වැඩවර්ජන මුවාවෙන් වෛද්‍ය සංගමය ආණ්‍ඩුව පෙරළන්න කැස කවනවා කියලද ඇමැතිතුමා හිතන්නේ?  
පිළිතුර – ඒගොල්ලො දිගටම කරන වැඩවර්ජනවලින් පේන්නෙ එහෙම දෙයක් කරන්න ලෑස්ති වෙනවා කියලා තමයි. නැත්නම් වෛද්‍ය සංගමය කවද‌ාවත් මෙහෙම කටයුතු කළේ නෑනෙ.
 ප්‍රශ්නය – කුණු, ඩෙංගු ප්‍රශ්නයත් මේ වෙන කොට අර්බුද තරමට දිග්ගැහිලා. මේවා ආණ්‍ඩුවට පාලනය කරන්න බැරිද?  
පිළිතුර – ඩෙංගු ප්‍රශ්නය ගිය ආණ්ඩුව කාලෙත් තිබිලා ජීවිත විශාල ප්‍රමාණයක් නැති වුණා. ඩෙංගු ප්‍රශ්නය විසඳන්න ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම අපි මේ වෙන කොට අරගෙන තියෙනවා. කුණු ප්‍රශ්නයටත් එහෙමයි. කුණු ප්‍රශ්නය කාලයක් තිස්සෙ තිබුණු එකක්. නමුත් ඒක එක පාරටම අපේ ඇඟට කඩන් වැටුණා. කුණු ප්‍රශ්නෙට ස්ථිරසාර විසඳුමක් හදමින් ඉන්න කොට තමයි මේ ප්‍රශ්නෙ ඇති වුණේ. වෛද්‍ය සංගමය රටේ ජනතාවට ආදරය කරනවා නම් ඩෙංගු රෝගය රටේ වැඩි වෙලා තියෙද්දී උද්ඝෝෂණය කරන එක හරිද? මාධ්‍යවලින් පෙන්නන විදියට රජය මොකුත් කරලා නෑ.

  ප්‍රශ්නය – සම්මුති ආණ්ඩුවේ අනාගතයට මොකද වෙන්නෙ?  
පිළිතුර – සම්මුති ආණ්ඩුවේ අනාගතයට මොනවත් වෙන්නෙ නෑ. මේ හැම ප්‍රශ්නයක් මැද වුණත් අපි ආණ්ඩුවක් විදියට ඉස්සරහට යනවා. ජනතාව දිනවන වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරනවා.
 ප්‍රශ්නය – ඒ වුණාට එජාපයත්, ශ්‍රීලනිපයත් අතර අස්සන් කළ ගිවිසුමේ කාලය මේ අගෝස්තුවලින් ඉවර වෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ?  
පිළිතුර – අපි ඒ ගැන සාකච්ඡා කරමින් යනවා. ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියලා අපි තීරණය කරනවා. හැබැයි සම්මුති ආණ්ඩුව වැටෙයි කියලා හීන දකින අය ඉන්නවා. ඒත් ඒ හීනය ඉෂ්ට වෙන්නෙ නෑ. අර පෝයට මේ පෝයට ආණ්ඩුව පෙරළනවා කියලා කිව්වට ඒ අයට ඒක කරගන්න බැරි වුණානෙ. අපේ ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යනවා.
 ප්‍රශ්නය – ඒත් ශ්‍රීලනිපයෙ සමහර ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කරන එක තවම නතර කරලා නෑ. මේ ආණ්ඩුවේ හුඟක් ඇමැතිවරු කාලයක් විපක්‍ෂයේ හිටපු නිසා හරියට වැඩ බෑ කියලා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා කියලා තිබුණා. මේ කියන්නෙ යූඇන්පී ඇමැතිවරු ගැන නේද?  
පිළිතුර – යූඇන්පී එක ඉතිහාසයෙත් වැඩ කරලා පෙන්නුවා. අපි දැනුත් වැඩ ටික කරගෙන යනවා. සම්මුතිවාදී ආණ්‍ඩුවේ ඉන්න අයට ඕනෑ කතාවක් කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම ප්‍රකාශ කළාට අපි එක ගමනක් යනවා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙලා තියෙන නිසා තමයි එකම ආණ්ඩුවේ ඉඳලත් තමන්ගෙ මතයළ කියන්න පුළුවන් වෙලා තියෙන්නෙ. අපි එවැනි ප්‍රකාශ ගැන කලබල වෙන්න ඕනැ නෑ.
 ප්‍රශ්නය – ජනවාරි අට දේශපාලන ජයග්‍රහණයට කර තියපු සිවිල් සංවිධාන දැන් මේ ආණ්ඩුවට අමතක වෙලාද තියෙන්නෙ?  
පිළිතුර – නෑ. නෑ. අපි ඒගොල්ලොත් එක්ක මේ ගමන යනවා. අද මේ ආණ්ඩුව පෙරළන්න හදන්නෙ ජනවාරි අට වැනිද‌ා පරාජය වුණු බලවේග බව ඒගොල්ලොත් තේරුම් අරන් ඉන්නෙ. ආණ්ඩුවේ යම් යම් වැඩකටයුතු සම්බන්ධයෙන් සිවිල් සංවිධාන එයාලගෙ අදහස් අපිට කියනවා. අපි ඒවත් සැලකිල්ලට අරන් මේ ගමන යනවා.
 ප්‍රශ්නය – ඒ වුණාට සිවිල් සංවිධාන කියන්නෙ ඒ අය කියන කිසිදෙයක් දැන් මේ ආණ්ඩුව කනකට ගන්නෙ නෑ කියලා.  
පිළිතුර – එහෙම නෑ. අපි ඒ අය කියන දේවල්වලින් ගන්න පුළුවන් දේවල් ගන්නවා. සම්මුතිවාදී ආණ්ඩුව තුළ අපිට ගන්න පුළුවන් සහ කරන්න පුළුවන් දේවල් ගන්නවා. එයාල කියන හැමදේම ගන්න බැරිවෙයි.

unnamed
 ප්‍රශ්නය – ඇමැතිතුමා රංගිරි දඹුලු විහාරයේ නායක මංගල හිමියන් එක්ක ඇති කරගෙන තියෙන ආරවුල මොකක්ද?  
පිළිතුර මගෙ කිසිම ආරවුලක් නෑ. රංගිරි දඹුලු විහාරය ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙන ස්ථානයක්. දඹුලු විහාරයේ චිත්‍ර සහ බුදුපිළිමවහන්සේ ලොකු අවද‌ානම් තත්ත්වයක තියෙනවා. ලංකාවේ ඉන්න යුනෙස්කෝ සංවිධානයේ තානාපතිතුමියත් පහුගිය දවසක කිව්වා මේ අවද‌ානම ඉවත් කරන්න පියවර නොගත්තොත් 2018 යුනෙස්කෝ සැසියේදී දඹුලු විහාරය තවදුරටත් ලෝක උරුම ලැයිස්තුවේ තියාගන්නවද කියන එක ගැන තීරණයක් ගන්න වෙනවා කියලා. ඒ වගේම පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයට බලය තියෙනවා මේ ස්ථානය නරඹන්න එන විදේශීය සංචාරකයන් සඳහා පමණක් ටිකට් එකක් ගහන්න. මම දැක්කා මේ ගැන සමහර මාධ්‍යවල තියෙනවා අපි පිංකැටේටත් තට්ටු කරන්න යනවා, දඹුල්ල වඳින්න එන දේශීය සංචාරකයන්ටත් ටිකට් එකක් ගහන්න යනවා වගේ ඒවා. ඒ කතා සම්පූර්ණයෙන්ම බොරු. සීගිරියයි දඹුල්ලයි නරඹන්න එන සංචාරකයන් සඳහා 1996 වෙනකන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා විසින් ටිකට් පතක් නිකුත් කළා. ඒක කළේ‍ විහාරවල ස්වාමීන්වහන්සේලාගේ එකඟතාව මත. ඒත් 1996න් පස්සෙ ස්වාමීන්වහන්සේලාගේ දැනුම්දීම මත පුරාවිද්‍යා එක ඒකෙන් ඉවත් වුණා. ඊට පස්සෙ දඹුලු විහාරයට අලුතින් පත්වුණු ස්වාමීන්වහන්සේ මගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා ලෙන් විහාර සිතුවම් සංරක්‍ෂණය කරන්න අවශ්‍යයි කියලා. ඒ වගේම උන්වහන්සේ මට කිව්වා පහුගිය කාලේ පුරාවට දඹුල්ලට ලැබුණු ආද‌ායම්වලදී දූෂණ අක්‍රමිකතා තියෙනවා ඒ ගැන හොයලා බලන්න කියලා.

උන්වහන්සේ ඒවා ගැන මාව දැනුවත් කළාට පස්සෙ මම ගිහින් ඒවා පරීක්‍ෂා කළා. ඒ අනුව අපි විහාර දේවාලගම් ආඥ‌ා පනත අනුව දඹුල්ල විහාරයට ලැබෙන ආද‌ායම් ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාව දැනුවත් කළා. මේවා ගැන හොයලා බලද්දී මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට තේරුණා. අපි සොයාගත්ත තොරතුරු අනුව දඹුල්ලේ දවසක ආද‌ායම ලක්‍ෂ විස්සේ තිහේ ඉඳල අසූව වෙනකල් තිබිලා තියෙනවා. ඒත් පුරාවිද්‍යා කොමසාරිස්වරයා දවසක ආද‌ායම පෙන්නලා තියෙන්නෙ අවුරුද්දක ආද‌ායම හැටියට. පස්සේ අපි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්න මේ ගැන විගණනයක් කරන්න කියලා. උන්වහන්සේම තමයි මට ලියලා එවලා තියෙන්නෙ මේවා ගැන හොයලා බලන්න කියලා. අපි ඒක පටන් ගත්තහම උන්වහන්සේ පුරාවිද්‍යා එකෙයි මධ්‍යම සංස්කෘතික අරමුදලෙයි නිලධාරීන්ට එතනින් අයින් වෙන්න කියලා තියෙනවා. මේවා සංරක්‍ෂණය කිරීමේ වගකීම අපිට තියෙනවා. අපිත් හොඳ සිංහල බෞද්ධයෝ. ස්වාමීන්වහන්සේලාට අපහාස කිරීමට අපි කිසිවිටෙක කටයුතු කරන්නෙ නෑ.
 ප්‍රශ්නය– තමන් වහන්සේ දඹුලු විහාරයේ විහාරාධිපති ධුරයට පත් වුණේ 2016 අවුරුද්දෙ නිසා ඔබතුමයි පුරාවිද්‍යා කොමසාරිස්වරයයි කරන චෝදනා තමන්ට අද‌ාළ නෑ කියලා උන්වහන්සේ මාධ්‍ය හමුවකදී පවසලා තිබුණා.  
පිළිතුර – අපි උන්වහන්සේට චෝදනා කරන්නෙ නෑ. උන්වහන්සේත් පිළිගත්තා මෙතන අතීතයේ දූෂණ වංචා වෙලා තියෙනවා කියලා. ඒකනෙ උන්වහන්සේ මට ඒ ගැන ලිපියකින් දන්වන්නෙත්. උන්වහන්සේ විහාරාධිපති ධුරයට පත්වෙන්න කලින් තමයි මේ ප්‍රශ්නය බරපතළ විදියට මතුවෙලා තිබුණේ. උන්වහන්සේ මුල් ස්ථාවරය වෙනස් කරපු එකයි අපිට තියෙන ප්‍රශ්නය. මොකද උන්වහන්සේම තමයි දඹුලු විහාරයේ සිදු වෙලා තියෙන මූල්‍ය අවභාවිතය ගැන මට දැනුම්දීලා ඒ ගැන හොයල බලන්න කියලා ඉල්ලුවේ. මට ඒ ලිපි ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්.
 ප්‍රශ්නය – අස්ගිරි පාර්ශ්වයෙ සංඝ සභාව රිදවීම සඳහා ආණ්ඩුව දඹුල්ල විහාරයට අතතියන්න හදනවා කියලා ඒකාබද්ධ විපක්‍ෂය නගන චෝදනාව ගැන ඔබ කියන්නෙ මොකක්ද?  
පිළිතුර – ඒක කිසිසේත්ම වෙන්නෙ නෑ. අපි කිසිවෙලාවක ස්වාමීන් වහන්සේලා රිදවීමට කටයුතු කරන්නෙ නෑ. අපිත් බෞද්ධ දර්ශනයට අනුව වැඩ කරන්නෙ. අනික මේක මේ අද ඊයේ ආපු ප්‍රශ්නයක් නොවෙයි. මාස ගණනාවක් තිස්සෙ මේ ප්‍රශ්නය විසඳන්න සාකච්ඡා කළාට පස්සෙ ඇති වුණු තත්ත්වයක්. මේ ලෝක උරුමය ආරක්‍ෂා කර ගන්න අපිට ලොකු වගකීමක් තියෙනවා. මෙතැනට දවසකට ලැබෙන ආද‌ායම කෝටිය ඉක්මවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ විහාරයට ලැබෙන ආද‌ායමෙන් කොටසක් මේකට වෙන් කළාට පස්සෙ ඉතුරු වෙන මුදල රටේ තියෙන වෙහෙර විහාරස්ථානවලට ලබාදෙන්නයි අපි මේ උත්සාහ කරන්නෙ. සමහර ස්වාමීන්වහන්සේලා පවා කියනවා මේක කරන්න ඕනෑ කියලා.
 ප්‍රශ්නය – ආණ්ඩුවේ වැඩ කටයුතු බොහොමයකට පහුගිය කාළේද සංඝ සමාජයෙන් විරෝධය එල්ල වෙන බවක් පේන්න තිබුණා. මේක ප්‍රශ්නයක් නෙවෙයිද?  
පිළිතුර – ඒක ස්වාමීන්වහන්සේලාගෙන්ම අහල බලන්න ඕනෑ. එහෙම වෙන එක ඇතුළෙත් දේශපාලනයක් තියෙයිද කියන්න මම දන්නෙ නෑ. නමුත් බහුතර ස්වාමීන්වහන්සේලා පිරිසක් රටේ සංහිඳියාව ඇති කරමින් අපි යන මේ ගමන හරි කියන ස්ථාවරයෙ ඉන්නවා.
 ප්‍රශ්නය – ජාතිවාදී, ආගම්වාදී ගිනිදැල් ආපහු සැරයක් ඇවිලෙන්න පටන් අරන් තියෙන බවක් පේනවා. මේවා වළක්වන්න ආණ්‍ඩුවට වැඩපිළිවෙළක් නැද්ද?  
පිළිතුර – ජාතිවාදය වපුරන්නෙ එක කොටසක් ජාතිවාදය අවුස්සන්නෙ කවුරු වුණත් ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. මේ යහපාලන ආණ්‍ඩුව ගෙනාවේ ජාතීන් අතර ආගම් අතර භේද බින්න ඇති කිරීමට නොවෙයි. ජාතිවාදය අවුස්සන අයගේ යටි අරමුණ මොකක්ද කියන එක ගැනත් හොයා බැලිය යුතු කාලය ඇවිත් තියෙන්නෙ.
 ප්‍රශ්නය – හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කළේ ඔබේ තනි කැමැත්තට කියන්නෙ ඇත්තද?
පිළිතුර – ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඔහුට එරෙහිව එල්ල වෙලා තිබුණු චෝදනා ගැන අපි කැබිනට් මණ්ඩලයේදීත් සාකච්ඡා කරලයි මේ තීන්දුව ගත්තෙ. මම කළේ ඔහු ගැන විමර්ශන වාර්තාව ආවට පස්සෙ ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු එක. ඒක මගේ වගකීම.
 ප්‍රශ්නය – අලුත් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවට මොකද වෙන්නෙ? එහෙම එකක් ඇත්තටම එනවද?  
පිළිතුර – සම්මුතිවාදී ආණ්ඩුවක් ඇතුළෙ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරද්දී ගොඩක් ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. අවසානයේ බලාපොරොත්තු වෙන්නෙ අලුත් ව්‍යවස්ථාව සම්මත කර ගැනීම.
 ප්‍රශ්නය – ඔය ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධුරයට මොකද වෙන්නෙ?  
පිළිතුර – හැමෝටම එකඟ වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් සම්මත කරන එක තමයි අපේ බලාපොරොත්තුව. විධායක ජනාධිපති ධුරය ඉවත් කරන්නෙ මොනවද පාර්ලිමේන්තුවට පවර ගන්නෙ මොනවද කියන කාරණා ගැන හැමෝටම පිළිගන්න පුළුවන් විදියෙ විසඳුමකට එන්න අපි බලාපොරොත්තු වෙනවා.
 ප්‍රශ්නය – හත ශ්‍රේණියේ භූගෝල විද්‍යා පෙළ පොත පාසල් සිසුන්ගෙ ශරීරයට අහිතකරයි කියලා ලොකු ප්‍රචාරයක් ගියා. ඒක ඇත්තද?  
පිළිතුර – ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක් උපදෙස් ගන්න ඕනෑ සියලුම අංශවලින් උපදෙස් අරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තමයි ඒ පෙළ පොත මුද්‍රණය කළේ. මේ ප්‍රචාරය එක පිරිසක් විසින් මවා පාපු දෙයක් විතරයි.
 ප්‍රශ්නය – ඉහළ ද‌ාපු විදුහල්පති ගුරු දීමනා මේ මාසෙ ගෙවලා නෑ කියලා ගුරු සංගම් චෝදනා කරනවා. ඇමැතිතුමා එ් ගැන දැනුවත් ද?  පිළිතුර – අපි විදුහල්පතිවරුන්ගෙ වැටුප් දීමනා වැඩි කළා. සමහර තැන්වල ගෙවලා තියෙනවා. තව සමහර තැන්වල ඒක ගෙවලා නැත්නම් ඒ ගැන හොයලා බලන්න කියලා මම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා. සමහරවිට කලාපවලට ඒ මුදල් යනකොට ප්‍රමාදවීම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය ඉදිරියට විසඳෙයි.
 ප්‍රශ්නය – තොරතුරු දැනගැනීමේ පනතට අනුව ජාතික පාසල්වලට පත් කළ යුතු තොරතුරු හා අභියාචනා නිලධාරීන් සමහර ඉස්කෝලවල මේ වෙන කොටත් පත් කරලා නැති බව කියනවා. ඒක ඇත්තද?  
පිළිතුර – නෑ. නෑ. අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. රටේ පාසල් දහද‌ාහක් විතර තියෙන නිසා සුළු සුළු ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද මේක අලුත් තත්ත්වයක්. ඒත් ටික කාලෙකින් මේක හරියට ක්‍රියාත්මක වෙයි

මුලාශ්‍ර – ඉරිදා ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *