සෙමෙන් යන පැහැදිළි ගමනක් – ජනපති අවධාරණය කරයි

රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිළි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිතුමා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ සියලූ රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ජාතික සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළේදි ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් සහ කෙටිකාලීන විසඳුම් බලාපොරොත්තු වුවද වසර 30 කට ආසන්න කාලයක් පැවති යුද්ධය හේතුවෙන් රට අභ්‍යන්තරයේ ජනතාව අතර ඇතිවූ බෙදීම් ඉවත් කර එම ජන කොටස් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම කෙටි කාලයක් තුළ ඉටු කළ නොහැක්කක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) අළුයම අමතමිනි.
බලය අතහැරීම පිළිබඳ ආදර්ශය ජාතික මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය සඳහා ලබාදුන් නායකයෙක් ලෙස මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කැපවූ නායකයෙකු ලෙස මෙහිදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ දේශනය ඉතා සුවිශේෂී වු අතර එය සියලූ ජගත් නායකයින්ගේ අවධානයට ලක් විය.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පසුගිය වසර දෙක හමාර තුළ තම රජය සාර්ථක ගමනක් පැමිණි බව මෙහිදි සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරි කාලය තුළද එම ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව අවධාරණය කළේය.

රටේ ජාතික සංහිඳියාව සහ ආගමික සංහිඳියාව ගොඩනගමින් විවිධ භාෂාවන් කතා කරන සියලූ ජනතාව අතර සහෝදරත්වය සහ විශ්වාසය ඇතිකර සියලූ දෙනාට නිදහසේ හා සතුටින් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම තුළ සාධාරණ සමාජයක් ගොඩනැගීමේ මූලික කාර්යය සඳහා රජය බැඳී සිටින බව ද කියා සිටියේය.

බලයේ සිටියදීම තම විධායක බලතල අත්හළ සහ එය පාර්ලිමේන්තුවට පවරාදුන් නායකයෙක් ලෙස බලය අතහැරීම පිළිබඳ ආදර්ශය තමා ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනය සඳහා ලබාදී තිබෙන බව මෙහිදි සඳහන් කළ ජනාධිපතිතුමා තනි බලයක් භාවිතා කරමින් ආඥාදායක ගමනක් ගිය පාලනයක් වෙනස්කර රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමට තම රජය කටයුතු කළ බව ද ප‍්‍රකාශ කළේය.

රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා මෙන්ම 2025 සදහා පැහැදිළි ආර්ථික ප‍්‍රතිපත්තියක් සහ සැළැස්මක් රජය ප‍්‍රකාශයට පත්කර ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමට මෙන්ම විදේශීය ණය බරින් රට නිදහස් කර ගැනීමටද එය ඉවහල් වනු ඇති බව කියා සිටියේය.

1 2 3 4 5 7 8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *